Friday, April 29, 2016

බැහැර වී යයි කලක් කළ පව් වරක් වැන්දොත් මුල්ගිරේ......




පාලි වංශකථාවන්හි 'සමුද්ද පබ්බත' නමින්ද සිංහල වංශකථාවන්හි 'මුහුදු ගිරි' නමින්ද සෙල් ලිපිවල 'මුහුන්ද් ගිරි' ලෙසද ජනශ්‍රැති හා ජනප්‍රවාදයන්හි ' මුල්ගිරිගල' ලෙසද හඳුන්වනු ලැබූ රෝහණ දේශයේ ප්‍රධාන සිද්ධස්ථානය වූ මුල්ගිරිගල රජමහා විහාරය 17 වන ශතවර්ෂයේදී යුරෝපීයයන් විසින් ආදම්ගේ අළු තැන්පත් කොට ඇතැයි යන අදහසින් 'ඇඩම්බර්ග් ලෙසත් හැඳින්වූ බවට ඵෙතිහාසික මූලාශ්‍ර රාශියකි.

මෙම පර්වතයේ පිහිටි විහාරයට මුල්ගිරිගල නම ලැබීම සම්බන්ධ ජනප්‍රවාදයන් බොහෝය.

ඉන් එක් කතා පුවතක් සද්ධාතිස්ස රජ සමය කරා දිවෙන්නකි.

සිය සොහොයුරු වූ දුටුගැමුණු රජුගේ හදිසි වියෝවෙන් පසු ක්‍රි .ව 137 දී අනුරාධපුරයේ රජ පැමිණි සද්ධාතිස්ස රජු බෞද්ධ ශාසනයට මහා මෙහෙවරක් කළ නරපතියෙකි.

බොහෝ අප්‍රකට ස්ථානවල වෙහෙර විහාර කරවීම මෙතුමා අතින් සිදුවූ අගනාම මෙහෙවරකි.



සද්ධාතිස්ස රජ සමයේදී දඩයමේ ගිය වැද්දන් දෙදෙනෙකු අහම්බයෙන් පැමිණි කැලෑ ප්‍රදේශයක එහා මෙහා ඇවිදින විට රමණීය පරිසරයක පිහිටි කඳුවැටි දෙකක් දුටුවේලු. මෙම කඳු විහාරයක් තැනීමට සුදුසුයැයි සිතූ වැද්දන් මේ බව සද්ධාතිස්ස රජුට දැන්වුවේලු. මේ තොරතුර දැනගත් වහාම රජු ඇමතිවරුන් සහ වැද්දන් සමඟ එම ස්ථානයට පැමිණි බවත් මේ කඳුවැටි දෙකෙන් එකකට හිත ගිය රජුට එහි විහාරයක් කරවීමට අදහසක් ඇතිවූ බවත් ජනප්‍රවාදයට අනුව කියවේ.
මෙහිදී එම කඳුවැටිය පෙන්වූ වැද්දා දෙසට හැරුණු රජු එම වැද්දා පෙන්වා 'මූ කිව් ගල හොඳයි' යැයි ඇමතිවරුන්ට පැවසුවේලු. එදා සිට මේ කන්දට ' මූ කිව් ගල' යන නම වැටුණේලු. පසු කලෙක මූ කිව් ගල වහරට පහසුව සඳහා "මුල්ගිරිගල" වීලූ.

බෝධිවංසයට අනුව "ගිරිබා වෙහෙර" හෙවත් "ගිරිබා ලෙන" නමින්ද හඳුන්වනු ලබනුයේ මෙම මුල්ගිරිගල වෙහෙරයි.

අනුරාධපුරයේ පිහිටි ශ්‍රී මහබෝධීන් වහන්සේගෙන් මුලින්ම හටගත් දෙතිස්පලරුහ බෝධීන් වහන්සේලා රෝපණය කරන ලද ස්ථානයක් ලෙසටයි බෝධිවංසයේ ගිරිබා වෙහෙර පිළිබඳ සඳහන් වනුයේ.



එමෙන්ම "දකුණු වෙහෙර", "මුව්තිරිගල", "මූකිරි ගල්ල", "මූලංගිරිය" යන නම් වලින්ද හඳුන්වනු ලබනුයේ මුල්ගිරිගල විහාරයම යන්නට ඵෙතිහාසික මූලාශ්‍රයන් බොහෝය.

12 වන සියවසේ රජ පැමිණි මාණාභරණ රජු විසින් පිහිටුවන ලද "කහටගමුව සෙල් ලිපියේ " තලා මුහුද් ගිරි විහාරය" නමින් සදහන් වනුයේද මෙම විහාරයම බව පිළිගැනේ.

හත්වන සියවසට අයත් "මුල්ගිරිගල ශිලා ලේඛනයේ" සාධක අනුව පෙනී යනුයේ මුල්ගිරිගල විහාරය රාජානුග්‍රහය ඇතිව පවත්වාගෙන යනු ලැබූ රජමහ විහාරයක් බවයි.

මහාවංසයට අනුව මුල්ගිරිගල විහාරයේ මුදුණේ වූ ස්ථූපය සද්ධාතිස්ස රජු විසින් කරවන ලද්දකි. එමෙන්ම ධාතුසේන රජු විසින් ස්ථූපයක්ද වලගම්බා රජු, පලවන පරාක්‍රමබාහු රජු හා කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් මෙහි ප්‍රතිසංස්කරණ කටයුතුද සිදුකළ බව මහාවංසය සදහන් කරයි.












ස්වභාවික ශෛලමය ලෙන්කුටි හතකින් සමන්විත මහල් පහකින් යුතු මේ ඵෙතිහාසික පූජා භූමිය යුග ගණනාවක විසූ රජවරුන්ගේ නොමද ගෞරවාදරයට පාත්‍ර වූ පූජනීය ස්ථානයක් වූ බවට ඵෙතිහාසික හා පුරාවිද්‍යාත්මක සාධක සාක්ෂි දරයි.
ලෙන් විහාර 7 ක් දාගැබ් 3 ක් සහ කටාරම් කොටන ලද ලෙන් 11 කින් සපිරි මෙම පුදබිම පුරාවිද්‍යාත්මක මෙන්ම වාස්තුවිද්‍යාත්මක වශයෙන්ද ඉතා වැදගත් නිර්මාණයකි.

මුල්ගිරිගල ලෙන් විහාරයන්හි ඇති සුවිශේෂීම ලක්ෂණය වනුයේ මෙහි සෑම ලෙන් විහාරයකම ඇතුළත දහඅට රියන් සැතපෙන බුදු පිළිම වහන්සේලා තැන්පත් කොට තිබීමයි.










එමෙන්ම සෑම ලෙන් කුටියක් තුළම සිතුවම් දක්නට ලැබෙන අතර මෙම නිර්මාණ මහනුවර යුගයට අයත් බව හඳුනාගෙන තිබේ.

මුල්ගිරිගල පිහිටි ලෙන් විහාර හතෙන් දෙකක්ම පිහිටා ඇත්තේ මුලින්ම හමුවන රජමහ විහාර මළුව ලෙස හදුන්වන පාත මළුවෙහිය. මෙහි ඇති ලෙන් විහාර දොරටුවේ 1808 වර්ෂය ලෙස සටහන කොට ඇති අතර මේ අනුව පෙනී යනුයේ පාත මළුවේ ඇති විහාරය කරවා ඇත්තේ ඉංග්‍රීසින්ට යටත් වූ අලුතම බවයි.



මෙම විහාර මළුවේම වැඩ සිටින ඔත් පිළිම වහන්සේ හා සම්බන්ධ රසවත් කතා පුවතක් අදත් එම ප්‍රදේශයේ ජනයාගේ තුඩින් තුඩ රැව් දෙන්නකි.

ඉංග්‍රීසින්ගේ යටත්විජිතයක්ව සිටි සමයේ මුල්ගිරිගල විහාරයේ වැඩවාසය කළ ගෝල හාමුදුරු නමක් ගුරු හාමුදුරුවන්ට හොරා යන්තර මන්තර කටපාඩම් කළේලු. මේබව දැනගත් ගුරු හාමුදුරුවෝ කිහිප වතාවක් දැඩි අවවාද දුන්නත් පොඩිනම අවවාද මායිම් කොලේ නැතිලු. කෙහොමින් කොහොම හරි ඔය කාලෙදි හම්බන්තොට හිටපු ඉංගිරිසි ඒජන්ත උන්නාන්සේ මුල්ගිරිගල වෙහෙර බලන්ට ආවේලු. අනිත් ආගම්වලට ගරු කිරීමේ පුරුද්ද නොතිබුණු ඒජන්තවරයා පාතමළුවේ තිබූ ඔත් පිළිම වහන්සේ පෙන්නලා ගුරු හාමුදුරුවන්ගෙන් පිළිම මෙච්චර විශාල ඇයි කියලා ඇහුවලු. හාමුදුරුවෝත් බොහෝම ශ්‍රද්ධාවෙන් බුදුන් වහන්සේ බොහෝම බලවත් නිසා කියලා පිළිතුරු දුන්නේලු. නක්කලේට හිනාවුණු ඒජන්තවරයා බුදු පිළිමෙ අත උඩට නැගලා ඉඳගෙන කෝ උඹලගේ බුදුන්ගෙ බලය කියලා ඇහුවලු.


තමන්ගේ ශාස්තෘවරයාණන්ට කළ අපහාසයෙන් කෝපයට පත් ගුරු හාමුදුරුවෝ තමා අසල සිටි ගෝල නම දෙස බලලා "තැනේ අර නරකත් දැන් හොඳයි" කීවේලු. ගුරුවරයාගේ වචන වල යටි අරුත තේරුම් ගත් ගෝලනම එකපාරටම සුදු ඒජන්ත නාහෙන් කටින් සෙම දාගෙන බිම වැටෙන්නම "කාලමක්" පිම්බලු.


මින් බොහෝ බියට පත්වූ ඒජන්ත බිරිඳ හාමුදුරුවන්ගෙන් සමාව ගෙන ඒජන්ත සුව කරන ලෙස ඉල්ලා සිටියේලු. සුව වුණු ඒජන්ත තැන බුදුන්ගේ බලය දැක්කා කීවේලු. 
මින් පැහැදුණු ඒජන්තවරයා මුල්ගිරිගල භික්ෂූන් සඳහා සාදන කැඳ වලට අවශ්‍ය ලුනු හිඟබව දැනගෙන මාසෙකට ලුනු බෙර දොළහක් මුල්ගිරිගල පන්සලට දෙන්න යැයි නියෝග කළේලු.
පසු කලෙක මෙසේ ලුනු දෙන එක මදිකමක් ලෙස සිතූ ඉංග්‍රීසි ආණ්ඩුව ඒ වෙනුවට පන්සලට ඉඩමක් පරිත්‍යාග කළේලු.

මුල්ගිරිගල විහාරය ප්‍රසිද්ධ වී ඇත්තේ මෙහි තිබෙන ස්වභාවික ලෙන් විහාරයන්හි බිතුසිතුවම් නිසාය. මෙහි ඇති සෑම ලෙන් විහාරයකම බිතුසිතුවම් දක්නට ලැබෙන අතර මේවා සිවිලිමේ සහ බිත්තිවල සිතුවම් කොට තිබේ. මහනුවර යුගයට අයත් සිතුවම් දක්නට ලැබෙන ප්‍රධාන ස්ථානයක් ලෙස මුල්ගිරිගල විහාරය සළකණු ලැබේ.










මෙහි දක්නට ලැබෙන සිතුවම් අතර සිවි ජාතකය, වෙස්සන්තර ජාතකය සහ තෙලපත්ත ජාතකය කලාත්මක ලෙස නිර්මාණය කර ඇති බව පෙනේ. එමෙන්ම සත් සතිය, සූවිසි විවරණය, දේව රූප, නවග්‍රහ මණ්ඩලයද මෙහි සිතුවම් කොට තිබේ.









මෙම විහාර භූමියේ ගිරි ලිපි හෙවත් සෙල් ලිපි තුනක් දක්නට ලැබෙන අතර භාණක ලෙනේ දැකිය හැකි "මුල්ගිරිගල ලෙන් ලිපිය" ක්‍රි .පූ. 2-1 සියවසට අයත් වන අතර බ්‍රාහ්මීය අක්ෂර වලින් ලියා තිබේ. 

එමෙන්ම පහත මළුවේ ඇති ගිරි ලිපිය ක්‍රි.ව. 6-7 සියවසට අයත් ලෙස සැලකේ. මෙය පුරා සිංහල භාෂාවෙන් ලියැවී ඇති අතර ක්‍රි.ව. 10 වන සියවසට අයත් ලෙස සැළකෙන රජමහ මළුවේ ඇති ගිරි ලිපිය මෑත කාලීන සිංහල භාෂාවෙන් ලියැවී තිබේ.




දකුණේ පුංචි සීගිරිය නමින් විරුදාවලිය ලත් මුල්ගිරිගල වර්තමානයේ බොහෝ අය "මුල්කිරිගල" නමින් ව්‍යවහාර කරණු ලැබේ. අකාලයේ විනාශ වෙමින් පැවති රෝහණ දේශයේ වටිනාම උරුමයක් වූ මුල්ගිරිගල විහාරය 18 වන සියවසේ වටරන්ගොඩ ධම්මපාල හිමියන්ගේ මූලිකත්වයෙන් නැවත වන්දනාමානයට විවෘත විය.

ඒ වන විට පෞරාණික සිතුවම්ද ස්වභාවික හේතුන් මත විනාශ වෙමින් පැවත ඇති අතර නැවත එම සිතුවම් ප්‍රතිසංස්කරණය කිරීමට එවකට සිටි අති දක්ෂ සාම්ප්‍රදායික චිත්‍ර ශිල්පියෙකු වූ දෙවරගම්පල සිල්වත් තැන සම්බන්ධ කොට ගෙන ඇත.










 

සියවස් ගණනාවක් විවිධ යුරෝපීය ජාතීන්ට යටත්ව සිටියදී විනාශ වූ සංස්කෘතික දායාදයන් අතර ජාතියේ පිනකට මෙන් ආරක්ෂිතව පැවති මෙම පුණ්‍ය භූමිය අදත් සුවහසක් ජනී ජනයාගේ අනුපමේය ගෞරවාදයට ලක් වෙමින් රෝහණ ජනපදයේ සුන්දර වන බිමක් මැද අභිමානයෙන් නැගී සිටී.

චන්ද සුගන්දන මන්දිර මණ්ඩල
මණිමේකල ලද දෙවිඳු තුමා... 
චන්දන ගුණ නැණ මුහුද අරක් ගෙන
කලස් දෙකක් ගෙන පුදකර මා...
නන්දන රූ සිරු සඳ පසු ගමනැති
අරුණවතී නම් තරුව සෙමා...
මන්ද පරක්කම බාහු රජුන් කළ
වෙහෙර නොවෙද මුල්ගිරියෙ මෙමා...











13 comments:

  1. බොහොම හොඳ චාරිකා සටහනක්. තවමත් යන්න නොලැබුන තැනක්. ඔබගේ විස්තර කිරීම තුලින් හොඳ දැනුමක් ලැබෙනවා. පොඩි පොඩි කරුණු කීපයක් පහත දක්වනවා.

    //මෙහි ඇති ලෙන් විහාර දොරටුවේ 1808 වර්ෂය ලෙස සටහන කොට ඇති අතර මේ අනුව පෙනී යනුයේ පාත මළුවේ ඇති විහාරය කරවා ඇත්තේ ඉංග්‍රීසින්ට යටත් වූ අලුතම බවයි//

    අපි ඉංග්‍රීසීන්ට යටත් වුනේ 1815 දී නේද?

    පින්තූර යෙදීමේදී, 500 x 400 වැනි විභේදනයක් සහිතව දැම්මොත් හොඳයි. පින්තූර වෙනම ගෙන බලන්නට, බොහෝ දෙනා පෙළඹෙන්නේ නැහැ, දත්ත වැයවන නිසා.

    මුල්ගිරිගල ලෝකප්‍රසිද්ධ ස්ථානයක් වුනත්, මෙවැනි ස්ථානයක් ගැන විස්තර කිරීමේදී, ගූගල් සිතියමක් යොදනවා නම්, ලිපියේ අගය තවත් වැඩි වෙනවා. කියවන්නාගේ අවබෝධය ද, එලෙසම වැඩි වෙනවා.

    ReplyDelete
    Replies
    1. කන්ද උඩරට ඇතුළු මුළු ශ්‍රී ලංකාවම ඉංග්‍රීසීන්ට යටත් වූයේ 1815 දී වුවද , 1796 ජනවාරියේ සිට ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ පාලනය කළේ ඉංග්‍රීසින් විසිනි.

      Delete
    2. අන්න හරි. ඒ විදිහට හැදුවා නම් හොඳයි. ඒ කියන්නේ, විහාරය සාදා තිබෙන්නේ ඉංග්‍රීසීන් මුහුදුබඩ ප්‍රදේශය තම පාලනයට නතු කරගත් 1796 වර්ෂයට පසුව බව පෙනේ. යනුවෙන්.

      Delete
  2. හොඳ විස්තරයක් ඔබ මේ ගැන දාල තියෙනව.

    මම මෙතනට මුලින්ම ගියේ දහම්පාසල් යන කාලෙ. ඊට පස්සෙ ලොකු ඕනකමක් තිබුණ ආයෙ මෙතනට යන්න. දැනට අවුරුදු තුනකට විතර කලින් ඒ ආසාව ඉෂ්ට කරගන්න පුලුවන් උනා. ලස්සන පැත්තක් වගේම අලංකාර විහාරයක්. ඔතන ඉඳල වැවුරුකන්නල පන්සලට එච්චර දුරකුත් නෑ නේද?

    ReplyDelete
    Replies
    1. වැව්රුකන්නල විහාරය පිහිටා තිබෙන්නේ මාතර-තංගල්ල මාර්ගයේ දික්වැල්ල ප්‍රදේශයයි. මුල්ගිරිගල විහාරයට ගමන් කිරීමට තංගල්ල නගරයෙන් හැරී කි.මී. 20 පමණ යා යුතුයි. එහෙම බලද්දි ලොකු දුරකුත් නැහැ තමයි.

      Delete
  3. බොහෝ කරුණු ගොනු කරමින් ඔබ ලියන මේ ලියවිල්ලේ සැඟවුණු, අප නොදත් තොරතුරු රැසක් සම්පිණ්ඩනය කරන්නේ රසවත් ආකාරයටයි. ඉතිහාස හා ජනප්‍රවාදයේ එන තොරතුරු වෙහෙසක් නොමැතිව එක දිගට කියවාගෙන යන්න හැකිවන්නේ මේ ලිවීම් රටාව නිසයි.

    ReplyDelete
    Replies
    1. මම සැඟවුණු ඉතිහාසගත තොරතුරු හා ජනප්‍රවාදයන් සොයා යන්න කැමැති කෙනෙක්. මේ නිසා වෙන්න ඇති මේ තොරතුරු රසවත් ලෙස පෙනෙන්නේ.

      Delete
  4. බලොග් සම්මාන ලැබුණට පස්සේ වැඩියෙන් මහන්සි වෙලා තොරතුරු සම්පාදනය කරනව වගේ. ඒකෙන් අපිට හොඳයි. ගොඩක් අප්‍රකට තොරතුරු දැනකියාගන්න ලැබෙනවා. ලියවිල්ල නම් සුපිරි.

    ReplyDelete
    Replies
    1. මේ තොරතුරු සම්පාදනය කරගත්තේ බ්ලොග් සම්මාන ලැබෙන්න කලිනුයි. ඒවා ගොනු කරන්න ලැබුණේ දැනුමයි.

      Delete
  5. නියමයි... ජය වේවා.. මාත් බස් වල දැකල තියෙනවා මුල්කිරිගල කියල ගහල තියෙන එක..

    ReplyDelete
    Replies
    1. ඔය බස් එකක නැගලම මුල්කිරිගල විහාරෙ බලන්න ගියොත් නරකද දේශකතුමා...

      Delete
    2. යන්ඩ ඕන. ඒත් ඉතිං යාපනේ ඉදං තනි බස් එකේ යන්ඩ බෑනේ දසතේ.. හැක්.

      Delete
  6. හරිම පැහැදිලිව ලස්සනට ලියලා ...

    ReplyDelete