Tuesday, August 4, 2015

සීතාවක රාජධානියේ දෙව් විමන... බැරැන්ඩි කෝවිල ...


ටේ කිරි සුවඳ යන්නට පවා බැරි වුණා...
යුදට උපන් කුමරිඳු යැයි නමක් ඇති වුණා...
මුල්ලේරියා වෙලෙහි වතුර ලෙයට හැර වුණා...
ටිකිරි කුමරු රාජසිංහ නමින් රජ වුණා...

පෘතුගීසින් වැනි බලවත් ජාතියක් සමඟ උරෙනුර ගැටෙමින් ලංකාවේ වැඩිම ප්‍රදේශයක් පාලනය කළ එකම සිංහල නරපතියා ලෙස සැලකෙන පළමු වන රාජසිංහ හෙවත් සීතාවක රාජසිංහ රජුගේ ළමා කල රණශූරත්වය පිළිබඳ කියවෙන පෙර සඳහන් ගී ඛණ්ඩය කෝට්ටේ යුගයේ විසු වීර නරපතියෙකුගේ ධීර වීර කතා පුවතක ආරම්භය සනිටුහන් කරන්නකි.

ශ්‍රී ලාංකේය රාජ වංශයේ එක් හැරවුම් ලක්ෂයක අවසානය සනිටුහන් කළ ඔහු මායාදුන්න රජ පුත් ටිකිරි බණ්ඩාර කුමරු හෙවත් සීතාවක රාජසිංහ නමින් විරුදාවලිය ලත් පළමු වන රාජසිංහ රජුයි.

ජනශ්‍රැති හා පුරාවෘත්ත මෙන්ම ඵෙතිහාසික තොරතුරු හා මූලාශ්‍ර රැසකින් හෙබි සීතාවක රාජධානියේ විසූ ප්‍රබලම නරේන්ද්‍රයාණන් වූ පළමු වන රාජසිංහ රජු වටා ගෙතුණු වෘතාන්ත බොහෝය.

සීතාවක රාජධානියේ හමුවන ඵෙතිහාසික ස්ථාන අතර වැදගත්ම නිර්මාණය වන්නේ පළමු වන රාජසිංහ රජු විසින් කරවූ බැරැන්ඩි කෝවිලයි.

බැරැන්ඩි කෝවිල ඉදිකිරීම හා බැඳුණු ජනප්‍රිය ඉතිහාසගත පුරාවෘත්තයක්ද ඇත.

සීතාවක රාජසිංහ රජු අතින් සිය පියා වන මායාදුන්නේ රජු මිය යන අතර එම පාපයෙන් මිදීමේ මඟක් සොයා භික්ෂුන් වහන්සේ කරා ගියද පියා ඝාතනය කළ ආනන්තරීය පාප කර්මයෙන් මිදීමට කිසිවක් කළ නොහැකි බව පැවසූ භික්ෂූන් සමඟ වෛරයෙන් ආපසු පැමිණි රාජසිංහ රජු සහනය පතා ශිව ආගම වැළඳ ගත්තේය. ඒ සඳහා රජු පොළඹවනු ලැබුවේ පසු කලෙක රජුගේ මහාමාත්‍ය වූ අරිට්ඨ කී වෙන්ඩු පෙරුමාල් විසිනි.

ශිව ආගම වැලඳගෙන භික්ෂුන් 120 දෙනෙකු දියේ ගිල්වා ඝාතනය කොට ගඟ මැද කෝවිලක් ඉදි කොට පූජා කිරීමෙන් පිතෘ ඝාතක පාපයෙන් මිදිය හැකි බවට අරිට්ඨ කී වෙන්ඩු පෙරුමාල් පැවසූ අතර රජු මේ සියල්ල එලෙසම ඉටු කළ බව ඉතිහාසයේ සදහන් වේ.

මෙසේ ශිව දෙවියන් උදෙසා ගං දෑලේ ඉදිකළ කෝවිල බැරැන්ඩි කෝවිල ලෙස සැලකේ.


බයිරැන්ඩි හෙවත් බැරැන්ඩි යනු ශිව දෙවියන් හැදින්වීම සඳහා යෙදෙන පර්යාය පදයකි. ශිව දෙවියන් වෙනුවෙන් ඉදිකළ අලංකාර කෝවිලක් ලෙස බැරැන්ඩි කෝවිල ඉදි කිරීම රාජසිංහ රජුගේ බලාපොරොත්තුව විය. ඒ ක්‍රි.ව. 1582 තරම් කාලයේදීය.

වසර 20 ක් පුරා මිනිසුන් 2000 පමණ යොදාගෙන කරවූ කිසිදා නිමකළ නොහැකි වූ මෙම කෝවිලේ ඉදිකිරීම වටා ගෙතී ඇති සුප්‍රසිද්ධ පිරුළක්ද ඇත.

..රාජා හෝ.. මා හෝ.. ගංගා හෝ....

රාජසිංහ රජු මෙහි ඉදිකිරීම් කටයුතු බාර කොට තිබුණේ අරිට්ඨ කී වෙන්ඩු පෙරුමාල්ටය.

එහෙත් ඔහු විසින් මෙම කෝවිලේ ඉදිකිරීම් පවත්වාගෙන ගොස් ඇත්තේ කිසිදා නිම කිරීමේ පරමාර්ථයෙන් නොවේ.

ඔහු විසින් ප්‍රකාශ කළා යැයි සැලකෙන ඉහත ප්‍රකාශය මගින් අරිට්ඨ කී වෙන්ඩු පෙරුමාල් අදහස් කොට ඇත්තේ කෝවිලේ ඉදිකිරීම් කටයුතු රාජසිංහ රජු මියගිය පසු අතහැර දැමීම හෝ තමන් මියගිය පසු අතහැර දැමීම සිදුවිය හැකි බවත්, එසේ නොවන්නේ නම් ආසන්නයේම ගලා බසින සීතාවක ගඟ පිටාර ගලා ඉදිකිරීම විනාශ විය යුතු බවත්ය.


ඓතිහාසික බැරැන්ඩි කෝවිල පිළිබඳ කෝට්ටේ යුගයේදී රචනා වු සැවුල් සංදේශයේ මෙසේ සඳහන් වේ.

පවර තුඟු තුල් හිම -ගිරි රජිදහට නද නවන
බස රුත් ලෙසින් වෙන් නොවෙමින් හැම දවස
සසදර බරණ වෙත රඳනා නිති නිදොස
පියුම් යොන් උවිඳු හරසක් ඈ පවර
නොහිම් සුරන්හට වර වර දෙන නිතොර
උතුම් ගුණෙන් යුතු හරඟන හට පවර
ලපෙම් වෙමින් නම කර රැගෙන අවසර

ඓතිහාසික සන්දේශ කාව්‍යයන්හි වර්ණනාවට පාත්‍ර වන්නට තරම් බැරැන්ඩි කෝවිල එදා වැදගත් ස්ථානයක්ව පැවති බවට සැවුල් සංදේශය සාක්ෂි දරයි.

ද්‍රවිඩ වාස්තුවිද්‍යාත්මක ලක්ෂණ පෙන්නුම් කරන බැරැන්ඩි කෝවිල ඉදිකිරීම සඳහා භාවිතා කොට ගෙන ඇත්තේ කැටයම් කරනලද කළුගල් පමණක් වීම විශේෂත්වයකි.


බැරැන්ඩි කෝවිල හා සීතාවක රජ මාලිගය අතර සීතාවක ගංගාව හරහා පාලමක් තනා තිබූ අතර එසේ තිබූ බවට සාධක අදත් ඒ අවට ප්‍රදේශයේ දක්නට ලැබේ.

කෝවිලේ පොළවෙන් උඩට ඉදි කළ අඩිතාලම හා අඩි කීපයක් උඩට මතුව ඉතිරි වී ඇති කැටයම් සහිත ගල් කණුද අද කෝවිල් බිමේ නෂ්ටාවශේෂ ලෙස පවතී.


 'ලංකාවේ පෘතුගීසි යුගය' නම් ග්‍රන්ථය ලියූ පෝල් ඊ පීරිස් මහතා බැරැන්ඩි කෝවිල පිළිබඳ එම කෘතියෙහි සඳහන් කොට ඇත. කෝවිල් බිත්ති වල වර්ණ සිතුවම් ඇද තිබූ බව ඔහු සඳහන් කරයි.

රාම රාවණ යුද්ධය, මහා භාරත කතා පුවත, අසුර යුද්ධය, කඳ කුමරුගේ සිතුවම ද එහි සිතුවම් කර තිබූ බව සැවුල් සන්දේශයේ සැවුල් අස්නේ 94 වන පද්‍යයේ මෙලෙස වර්ණනාවට ලක් කොට තිබේ.

සබඳ දිය රම් රවුළු යුධ, මහබාරත යුද ද
මනරම් කඳ කුමරු පෙර කළ දිත් යුද ද
නිමි කොටැ ඇඳ ඇති නොම සිතියම් රූ
නෙතු සතොස පිරි ලෙන් දැක ගොස්

එනමුදු වර්තමානය වන විට එහි සිතුවම් තිබූ බවට කිසිදු සාධකයක් සොයා ගත නොහැකි වී ඇත.


 භෛරණ්ඩි කෝවිල් බිම තුළ නගරයක සැලැස්මක් දක්නට ලැබීමද විශේෂත්වයකි. මාලිගයේ සිට කෝවිල දක්ව තනා තිබූ ගල් පාලම යටින් දිය අගලක් තිබූ බවක්ද දක්නට ලැබේ. දිය අගල ප්‍රාකාරයට සම්බන්ධ වී තිබී ඇති අතර ගංගාවේ සිට ඉහළට නැඟීමට කළු ගලින් කළ පියගැටපෙළවල් තිබූ බවට වූ නටඹුන් දක්නට ලැබේ. එම පියගැටපෙළ දෙපස අඩක් පසින් යට වූ කොරවක් ගල් අදද දක්නට ලැබේ.

අඩි 100 පමණ දිග ශෛලමය වේදිකාවක් මත පාෂාණ ඇතිරූ මළුවක් වෙයි.මෙම මළුව මැද අඩි 15 පළල අඩි 20 පමණ දිග දෙවොල් ගෙයක් දක්නට ලැබෙන අතර චමත්කාරජනක කැටයම් වලින් යුතු බොරදම් කුළුණුද දක්නට ලැබේ.


බැරැන්ඩි කෝවිලේ මූර්ති අතර නෙළුම් පොහොට්ටුවක හැඩැති දිය පිහිල්ල වැදගත් නිර්මාණයකි. මෙය තනි ගලෙන් නිර්මාණය කර ඇත. ශිව ලිංගය නෑවීම සඳහා භාවිතා කළ කිරි ගලා යාම සඳහා මෙය සාදා ඇති බව පෙනේ.

එමෙන්ම මෙම නටඹුන් අතර පුන්කලස් තුනක්ද දක්නට ලැබේ. කොවිලේ වටේ බැමි වල බොරදම් කැටයම් ආදියද දක්නට ඇත.


බැරැන්ඩි කෝවිල සීතාවක රාජධානියේ ගෘහනිර්මාණ ශිල්පය පිළිබඳ වැදගත් සාධක සපයන නිර්මාණයකි.

කෙසේ වුවද අරිට්ඨ කී වෙන්ඩු පෙරුමාල්ගේ ප්‍රකාශය සැබෑ කරමින් බැරැන්ඩි කෝවිල කිසිදා නිම කළ නොහැකි වූයේ පෙතන්ගොඩ උයනේදී විෂ කටුවක් ඇනීමෙන් 1593 දී සීතාවක රාජධානියේ රණශූර නරේන්ද්‍රයාණන් වූ පළමු වන රාජසිංහ රජු මිය ගිය බැවිණි.
ක්‍රි.ව.1549 දී පෘතුගීසි ආණ්ඩුකාර ෆොරොඤ්ඤො විසින් මෙන්ම පසු කලෙක අසවේදු විසුරේවරයා විසින්ද මෙම කෝවිල කොල්ලකන ලද අතර කෝවිල පාදම දක්වාම සුනුවිසුනු කළ පෘතුගීසි හමුදාව එහි වූ නිදන් වස්තු සොයන ලදී.

1819 දී ඉංග්‍රීසි ජාතික ඩේවි මේ ස්ථානය සොයා යන විට තැන තැන විසිරුණු ගල් සමූහයක් පමණක් තිබූ බව මේජර් ඩේවි ඔහුගේ ප්‍රකට දින සටහන් වල සඳහන් කොට තිබේ.

මෙලෙස පෘතුගීසින් විසින් කිහිප අවස්ථාවකදීම විනාශ කරන ලද බැරැන්ඩි කෝවිල අද ඇත්තේ 1897 දී පුරාවිද්‍යා කොමසාරිස් ව සිටි එච්.සී.පී.බෙල් මහතා විසින් ප්‍රතිසංස්කරණය කොට ගොඩනගා ඇති ආකාරයට බව කෑගලු වාර්තාවේ සදහන් වේ.


මේ අනුව පැරණි සීතාවක රාජධානියේ දැනට ඉතිරිව තිබෙන පුරාණ ස්මාරක අතර ඉතා වැදගත් ස්ථානයක් හිමිකර ගන්නා බැරැන්ඩි කෝවිල 10 වැනි ශතවර්ෂයේ පැවති ප්‍රබල රාජ්‍යයක පුරාවිද්‍යාත්මක හා ආගමික ඇදහිලි පිළිබඳ සාධක සහිත සුවිශේෂී ස්මාරකයක් ලෙස සඳහන් කළ හැකිය.



16 comments:

  1. බැරැණ්ඩි කෝවිල ගැන අසා තිබුණාට මේ තරම් විස්තරයක් දැන සිටියේ නෑ. වි‍ශේෂයෙන්ම එහි නමෙහි ප්‍රභවය පිළිබද දැනගත්තේ අද. සීතාවක රාජධානියේ පුරාවස්තූන් ඉතිරි වෙලා තියෙන්නෙ ඉතා ස්වල්පයක් නේද? ඊට හේතුව පෘතුගීසීන් විසින් ඒවා සියල්ල විනාශ කර දැමීමද?

    ReplyDelete
    Replies

    1. සීතාවක රජධානියේ දැනට ඉතිරිව ඇති නටඹුන් හා පුරාවස්තු ලෙස පැහැදිලි සාක්ෂි හමුවී ඇත්තේ ස්ථාන දෙකක් පමණයි . මානියම්ගම පිහිටි රජ විමන හෙවත් රාජ මාලිගය හා තල්දූවේ පිහිටි දෙව් විමන හෙවත් බැරැන්ඩි කෝවිල එම ස්ථාන දෙකයි.
      සීතාවක රාජධානියේ පුරාවිද්‍යාත්මක නටඹුන් වැඩි ප්‍රමාණයක් නොතිබීමට කරුණු කිහිපයක් හේතු වෙනවා.පළමු කරුණ තමයි සීතාවක රාජධානියක් ලෙස පැවතුනේ කෙටි කාලයක් වීම.ඒ කාලය නිරන්තරයෙන්ම යුධ ගැටුම් පැවති කාලයක් බැවින් වාස්තු විද්‍යාත්මක නිර්මාණ බිහි උනේ නැහැ.එමෙන්ම සීතාවක රාජධානිය බිඳ වැටුණු පසු ඉතිරිව තිබූ ඵෙතිහාසික ස්ථානත් නිරන්තරයෙන්ම පෘතුගීසින් අතින් විනාශයට පත් උනා.මේ හේතු කිහිපය නිසාම මෙම යුගයේ නිර්මාණයන්ගෙන් අද වන විට ඉතිරිව ඇත්තේ මෙම නිර්මාණ පමණයි.

      Delete
  2. මේ වගේ දුර්ලභ තොරතුරු හොයන එකම පණ යන වැඩක් නොවෙද?
    පෙළගැස්වීම නම් හරිම ඉහළයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. ටිකක් මහන්සි වෙන්න ඕනෙ. තොරතුරු ගොඩාක් මතකයේ තියෙනවා. දින වකවානු වගේ නිශ්චිත තොරතුරු තමයි මහන්සි වෙලා හොයන්නේ.

      Delete
  3. බැරැණ්ඩි කෝවිල ගැන අහල තිබුණෙ නැහැ.
    මුල් වතාවට සැඟවුණ තොරතුරු රැසක් දැන ගත්තා.
    ජනප්‍රිය නොවන, වැඩි පිරිසකගේ අවධානය අඩු මෙවන් බ්ලොග් අඩවියක් පවත්වාගෙන යාමම අහියෝගයක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. මම කොහොමත් අභියෝග වලට කැමති කෙනෙක්. හැකි තරම් සැඟවුණ තොරතුරු ඉදිරිපත් කරන්න උත්සහ කරනවා

      Delete
  4. හොඳ විස්තරයක්. ස්තුතියි.
    http://nelumyaya.com/?p=3941

    ReplyDelete
    Replies
    1. අගය කිරීම ගැන බෙහෙවින්ම ස්තූතියි.

      Delete
  5. අැත්තට ම මේ බ්ලොගය දැක්කේ අදයි...... තරු රසීගේ කමෙන්ටුවක් දාලා තියෙනවා දැකලයි අල්ලා ගත්තේ..... සින්ඩියටත් දා ගත්තා.... http://kurutugegeepawra1.blogspot.com/

    දිගට ම ඒන්නම්..... අගෙයි බ්ලොගය.. දිගට ම ලියමු... අපි ඉන්නවා තනියට..... අනික් සින්ඩි වලටත් අැවිත් රෙජිස්ටර් වෙන්න......

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි. සින්ඩියට දාගත්තාට.
      මම තවම බ්ලොග් ලෝකයට ආධුනිකයි. අනෙක් සින්ඩිත් සොයාගෙන රෙජිස්ටර් වෙන්න බලන්නම්.

      Delete
  6. සවිස්තරාත්මක තොරතුරුත් සමගම තවත් සංචාර සටහන් ඇතුළත් බ්ලොග් එකක්. සුබ පතමි සමකය වටේ බ්ලොග් අඩවියෙන්

    ReplyDelete
    Replies
    1. සුබ පැතුමට ස්තූතියි.
      සංචාරක සටහන් වගේම හැකි තරම් දුර්ලභ තොරතුරු ඉදිරිපත් කරන්නයි උත්සහ කරන්නේ.

      Delete
  7. වටිනවා අනිත් හැම එකක් වගේම. :)

    ReplyDelete
  8. ඔබේ වෙබ් අඩවිය බ්ලොග්පවර් එකට ඇතුලත් කලා. පමා වුනාට සමා වෙන්න.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බොහොමත්ම ඔබට

      Delete