Friday, January 20, 2017

ගැමුණු සොහොයුරු තිස්ස කුමරුන් රැකවරණ ලද සොඳුරු පුදබිම - දෙමටමල් මහ වෙහෙර


ස්වැද්දූ  වෙල් ලක්ෂය යන අරුතින්  "වෙල්ලස්ස" යැයි නම්  ලද දුටුගැමුණු  රජුගේ මහා සංග්‍රාමයන්ට බත සැපයූ  සුන්දර  කෙත්වතු යායක් මැද ඉදිවූ දෙමටමල් විහාරය ශ්‍රේෂ්ඨ  නරපතියන් රැසකගේ පා පහස ලද ඵෙතිහාසික  පුදබිමකි.

පාලි මහාවංසයට අනුව"දමිට්ඨාවල විහාරය" නමින්ද,  කාවන්තිස්ස  රජදවස   "ගමට්ඨවාලි විහාරය" නමින්ද හඳුන්වනු ලැබූ දෙමටමල් විහාරයට නම් ලැබීම  පිළිබඳ  ජනප්‍රවාද හා පුරාවෘත්තයන්  කිහිපයකි.

ක්‍රි .පූ. 03 වන ශතවර්ෂයේ  අනුරාධපුරයේ සිට රුහුණු රටට පළාගිය දෙවනපෑතිස් රජුගේ  ජ්‍යෙෂ්ඨ මලනුවන්  (දෙටු මල්) වූ මහානාග යුවරජු කරවූ  විහාරය  යන අරුතින්  දෙටුමල්  විහාරය  පසු කලෙක දෙමටමල් විහාරය වූ බව එක් ජනප්‍රවාදයකි.

එසේම  දෙමටගස් සහිත කැලෑවක ඉදිකරන  ලද විහාරය  යන අරුතින්  දෙමටමල්  විහාරය  වූ බව අනෙක්  මතයයි.



මෙම ජනප්‍රවාද හා පුරාවෘත්තයන් කෙසේ වූවද අදත් මේ ප්‍රදේශයේ  ජනයා බොහෝ  අභිමානයෙන්  පවසන දෙමටමල් විහාරයට නම් ලැබීම හා සම්බන්ධ  ජනප්‍රිය  පුරාවෘත්තයක් ද වේ.

දෙමටමල් විහාරයට නුදුරින්  ඇති  යුදඟනා පිටියේදී ගැමුණු  හා තිස්ස දෙසොහොයුරන් එකිනෙකාට විරුද්ධව යුධවැදුණු අතර සටනින් පැරදුණ  තිස්ස කුමරා පලාගොස් ජීවිතාරක්ෂාව  පතා අසල වූ විහාරයක ඇඳ යට සැඟවුණු  බවත් ඔහු  ලුහුබැඳි ගැමුණු  කුමරු, තිස්ස විහාරයට වදිනු දුටු අතර භික්ෂූන්  වහන්සේලාගෙන්  තිස්ස ගැන විමසූ බවත් මුසාබස් අකැප භික්ෂූන්  'තිස්ස ඇඳ මත නැතැ' යි ප්‍රකාශ  කළ බවත් එයින්ම තිස්ස  ඇත්තේ ඇඳ යට බව වටහාගත් ගැමුණු  කුමරු  විහාරස්ථාන දොරටුවෙහි  රැකවල්  ලා සිටි බවත් පැවසේ.

මේ බව දැනගත් විහාරයීක භික්ෂුන්  තිස්සයන් රෝගී භික්ෂුවක් සේ වෙස් ගන්වා ඇඳක සතපවා  සාමනේරයන් සතර දෙනෙකු ලවා ඔසවාගෙන පිටමං කිරීමට සැලැස්වූ බවත් මේ යන්නේ තිස්ස බව දැනගත් ගැමුණු  කුමරු "තිස්සය තෝ කුල දේවතාවන් ඉස හිඳගෙන යනු නොලැබ කුල දෙවියන් අතින් මගෙන් පැහැර ගැනීමක් නැත්තේය. තෝ කොයි දවසත් කුල දෙවියන් ගැන සිහි කරව" යනුවෙන් පැවසූ බව මහාවංසයෙහි  24 පරිච්ඡේදයේ ගාථා  44 හා 45 දැක්වේ.

මේ අනුව ගැමුණු  කුමරු  සිය මලනුවන්  දුටු විහාරය දුටුමල් විහාරය වී පසුකලෙක ව්‍යවහාරයේ පහසුව සඳහා  දෙමටමල් විහාරය වූ බව ජනප්‍රවාදයේ හා මුලාශ්‍රවල  සඳහන් වේ.

ඒ අනුව දෙමටමල් විහාරය සද්ධාතිස්ස  කුමරුට ජීවිතාරක්ෂාව  සැලසූ ස්ථානය  ලෙස සැලකේ.



ලංකාවේ විසූ අවසන් මහ රහතන් වහන්සේ වූ මලියදේව මහ රහතන් වහන්සේ භික්ෂූන් සැට නමකට ඡක්ක සුත්‍රයෙන් ධර්මය දේශනා කොට රහත්බව ලබා දුන්නේ  දෙමටමල් විහාරයේදී බව ධර්ම ප්‍රදීපිකාවේ සදහන් වේ.

එමෙන්ම දඹදෙණි යුගයේ විසූ අසහාය යතිවරයෙකු වූ සද්ධර්මරත්නාවලිය රචනා කළ ධර්මසේන හිමි වැඩ සිටි ස්ථානයද දෙමටමල් විහාරය බවට ජනප්‍රවාදයක්ද පවතී.

රුහුණු  රට ඉදිවූ ප්‍රථම  පංචාවාස  විහාරය ලෙස පුරාවිද්‍යාඥයන්  විසින්  දෙමටමල්  විහාරය  හදුන්වා  දී තිබේ.

පංචාවාසයක් යනු දාගැබ, බෝධිඝරය, පිළිමගෙය,   උපෝසථාගාරය හා සම්මන්ත්‍රණ ශාලාව  යන පංච අංගයන්ගෙන් සමන්විත විහාරාරාම සංකීර්ණයන් වේ.



එමෙන්ම බෝධි රෝපනයට පෙර නිදන් වස්තු තැන්පත් කොට (බෝධිය පතුලේ වස්තු නිදන් කොට) ඇති ලංකාවේ එකම විහාරස්ථානය ලෙසද දෙමටමල් විහාරය සලකනු ලැබේ.

මෙම විහාරාරාම  සංකීර්ණයේ ඇති විශේෂිතම නිර්මාණය  වන්නේ පැරණි  දාගැබයි. මෙම දාගැබ කපරාදු කොට නැති අතර සමචතුරස්‍රාකාර උස් වේදිකාවක් මත ඉදිකොට තිබේ.



එමෙන්ම දෙමටමල්  විහාරයේ ඇති  විවිධ  කැටයම්  අතර එක් සුවිශේෂි මුරගලක්ද වේ. මෙම මුරගලෙහි නා රජුගේ  හා නාගිනියකගේ යැයි සැලකිය හැකි රූප කැටයම් කොට ඇති අතර ගැහැනු  රුවක් හා පිරිමි රුවක් එක්ව සෑදුණු ලංකාවේ ඇති එකම මුරගල ද මෙය බව පුරාවිද්‍යාඥයන්ගේ මතයයි.



චෛත්‍ය, උපෝසථාගාර, ප්‍රතිමාඝර බෝධිමාලක හා ආවාස කුටි මෙන්ම විවිධ  පුරාවස්තු  වලින් සමන්විත දෙමටමල්  විහාරය කාවන්තිස්ස රජු විසින් ප්‍රතිසංස්කරණය කළ බව පූජාවලියේ සදහන් වේ.



යථෝක්ත ඵෙතිහාසික  හා ජනප්‍රවාදයන් වලට අනුව දෙමටමල් විහාරය ක්‍රි .පූ.2 සියවසේ  ආරම්භ  වී වරින්වර  ප්‍රතිසංස්කරණ  වලට හා නව ඉදිකිරීම්  වලට භාජනය  වූ ආරාමයක් බව පෙනේ.

ඒ අනුව බලන කළ දෙමටමල් විහාරය  මහානාග, කාවන්තිස්ස, දුටුගැමුණු, සද්ධාතිස්ස  වැනි නරපතියන්ගේ පාද ස්පර්ෂය ලැබූ පුණ්‍ය භූමියකි.




පොළොන්නරු යුගයෙන් පසු වල්බිහිවී ගිය දෙමටමල්  විහාරය 1974 දී පුරාවිද්‍යා  දෙපාර්තමේන්තුව  මගින් සංරක්ෂණය  ආරම්භ  කොට ඇති අතර මේ දක්වාම කැනීම් කටයුතු සිදුකරනු  ලැබේ.

සුවිශේෂි  වූ ඵෙතිහාසික තොරතුරු හා පුරාවෘත්තයන් රැසක් දරාගෙන, සුවහසක් ජනී ජනයාගේ වන්දනාවට පාත්‍ර වෙමින් සුන්දර වූ වෙල්ලස්ස කෙත්වතු උයන් මැද අදත් දෙමටමල් විහාරය විරාජමාන වේ.







Tuesday, December 27, 2016

පානම්පත්තුවේ මහා පුද බිම වූ රෝහණයේ මහ වෙහෙර - ලාහුගල මඟුල් මහා විහාරය


රුහුණු, පිහිටි, මායා යන ත්‍රී  සිංහලයට අනුව රුහුණු  රටට අයත් වූ සුන්දර පානම් පත්තුවේ, රෝහණයේ පාලකයන් මෙන්ම බොහෝ  රජදරුවන් ඓතිහාසික  සිද්ධස්ථාන රැසක් පිහිටවූ  බවට ඉතිහාසගත මූලාශ්‍ර  සාක්ෂි  දරයි.

මහාවංසයේ රූණු මහා වෙහෙර ලෙසද, පූජාවලියේ රුහුණු  මහා විහාරය ලෙසද, සමකාලීන  සෙල්ලිපිවල රූණ වෙහෙර නමින්ද, ජනශ්‍රැති  හා ජනප්‍රවාදයන්හි මඟුල් මහා විහාරය නමින්ද හඳුන්වනු ලැබූ රුහුණේ  මහා විහාරය වූ ලාහුගල මඟුල් මහා විහාරය පානම් පත්තුවේ ප්‍රධානතම සිද්ධස්ථානයයි.


මහාවංසයට හා පූජාවලියට අනුව රුහුණේ  පාලකයෙකු වූ 1 වන දප්පුල රජු විසින් ප්‍රාණ දිවයින වාසී මහා තෙරුන්ගෙන් බණ අසා පැහැදී මහා තෙරණුවන්ට  රුහුණු  වෙහෙර නමින් ආරාමයක් පූජා කළ බවත් සිව් දිගින් පැමිණෙන සංඝයාගේ ප්‍රයෝජනය සඳහා එය කැප කළ බවත් සඳහන්  වේ.

එමෙන්ම 1 වන දප්පුල රජතුමා  විසින් කරවූ එකුන්  විස්සක්  වූ විහාරස්ථානයන්ගෙන් එකක් ලෙස රුහුණු  මහා වෙහෙර  මහාවංශයේ සඳහන් කොට ඇත.


ඉහත ඓතිහාසික  කරුණු  කසේ වුවද මඟුල්  මහා විහාරය  පිළිබඳව පානම ජනයා අතර පවතින ප්‍රසිද්ධ  ජනප්‍රවාදයක් වේ.

එම ජනප්‍රවාදයට අනුව කැලණිතිස්ස  රජු විසින් මුහුදට බිලිදුන් ඔහුගේ  දියණිය, දේවි කුමරිය  රැගත් නෞකාව  නැගෙනහිර  වෙරළට ගොඩබට බවත් කාවන්තිස්ස  රජු එම ආරංචිය ලැබ පැමිණ කුමරිය ගලවා ගත් බවත් කාවන්තිස්ස  රජු හා දේවි කුමරිය  හෙවත් විහාර මහා දේවිය  සරණපාවා ගනු ලැබූ ස්ථානය  මඟුල්  මහා විහාරය  බවත් එම ජනප්‍රවාදයට අනුව  කියවේ.


මෙසේ මංගල  උත්සවයෙන්  පසුව  රජු  විසින්  ඉදිකළ  මහා විහාරය මඟුල්  මහා විහාරය වූ බවත් පානම ජනයා අදටත් විශ්වාස  කරයි.

මඟුල්  මහා විහාරය පිළිබඳ  ඓතිහාසික  මූලාශ්‍රගත තොරතුරු  හා  ජනප්‍රවාද  හා ජනශ්‍රැති  කෙසේ වුවද මෙහි විකාශනය  පිළිබඳ  ශිලාලිපි  මෙන්ම පුරාවිද්‍යාත්මක  නෂ්ටාවශේෂ  මඟින් ද  තොරතුරු  සපයා ගත හැකිය.


මෙම ස්ථානයෙන්  හමුවූ 14 වන සියවසට අයත් සෙල්ලිපියකට අනුව  වල්බිහිවී  තිබූ  මඟුල්  මහා  විහාරය  ගම්පොළ  යුගයේ රජකල v වන පරාක්‍රමබාහු හා iv වන බුවනෙකබාහු යන රජුන්ට බිසව වූ විහාර මහා දේවිය  නම් බිසවක් විසින්  ප්‍රතිසංස්කරණය කළ බව සදහන්  වේ.
මඟුල්  මහා  විහාරයේ ඉතිහාසගත  තොරතුරු  හා එහි විකාශනය  පිළිබඳ  ලිඛිත  මූලාශ්‍ර  මෙන්ම ජනප්‍රවාද  හා ජනශ්‍රැති  මූලාශ්‍ර  මගින්  කියවෙන තොරතුරු  වල සත්‍යතාව තහවුරු  කරගැනීමෙහිලා එම පූජා භූමිය  ආශ්‍රිතව  සිදුකර ඇති විවිධ  ඉදිකිරීම්  වල ශේෂ  වූ නටඹුන්ද ඉවහල් කරගත හැකිය.


මෙම  භූමියේ  ඉදිකොට තිබූ  වර්තමානයේ නෂ්ටාවශේෂ  බවට පත්ව ඇති  මුරගල්, සදකඩපහණ, භික්ෂුවාස කුටි, දානශාලා, රැස්වීම්ශාලා ආදිය මඟින්  පානම් පත්තුවේ සිංහල  බෞද්ධ  උරුමය  පිළිබඳ  අතීත තොරතුරු  රැසක් අනාවරණය  කොට ගත හැකිය.

මෙහි ඇති සුවිශේෂීම කලා නිර්මාණයක් ලෙස පොහෝ සීමා මාලකයට ඇතුළු  වන දොරටුවේ ඇති සඳකඩපහණ පෙන්වා  දිය හැක. පුරාවිද්‍යාත්මක  වශයෙන් ඉතාමත්  සුවිශේෂී  නිර්මාණයක්  වන මෙහි  අන්තර්ගත  කැටයම් අතර ඇතා සමඟ ඇත් ගොව්වාද කැටයම්  කොට  තිබේ. ලංකාවේ  දැනට හමුවී ඇති මේ ආකාරයේ එකම  සඳකඩපහණ  මෙය වේ.


මෙම භූමියේ  පිළිම ගෙයක නටඹුන්  දක්නට ඇති අතර  ඇතුළත අනුරාධපු යුගයට අයත් යැයි සැළකෙන අභය මුද්‍රාව සහිත හිටි පිළිමයක් දක්නට ඇති අතර එහි සිරස  විනාශ  වී ඇත.


පිළිමගෙයට ඇතුළු වන ස්ථානයේ පිහිටුවා ඇති මුරගල් වල සුවිශේෂී  කලා ලක්ෂණ  දක්නට ලැබේ. මෙහි මුරගල් මුහුවත උල් සහිත තුඩක් ලෙස නිර්මාණය කොට ඇති අතර එය රෝහණයට ආවේණික ලක්ෂණ  පෙන්නුම් කරණ බව පුරාවිද්‍යාඥයන්ගේ පිළිගැනීමයි.

මෙහි ඇති අනෙක් සුවිශේෂීම නිමැවුම වනුයේ බෝධිඝරය  ලෙස දැනට හඳුනාගෙන  ඇති වාස්තු  විද්‍යාත්මක  නිර්මාණයයි. බෝධිඝරයේ  ඇති සුවිශේෂත්වය වනුයේ මෙතෙක් ලංකාවේ හමුවී ඇති බෝධිඝර වල මෙන් නොව මෙහි බෝධීන් වහන්සේ රෝපණය කොට ඇත්තේ වෘත්තාකාරව ගොඩනැගූ ස්ථානයක් ඇතුළත වීම හා සමස්ත  බෝධිඝරයම පද්මයක ආකාරයට නිර්මාණය  කොට තිබීමයි. ලංකාවේ වෙනත් කිසිදු ස්ථානයක මෙවන් බෝධිඝරයක් හමුවී නැත.


මෙම පූජා  භූමියෙන් ශිලා ලිපි බොහෝමයක්  හමුවී ඇති  අතර  මේවා  පුවරු ලිපි ගනයට අයත් වේ. ක්‍රි.ව 10 වන හා 14 වන සියවස්වල ලිපි ලෙස  මේවා හඳුනාගෙන  තිබේ.

එමෙන්ම  මෙම විහාරාරාම  සංකීර්ණයට ගිණිකොණ  දෙසින් සුවිශාල  ඇත් ගාලක් තිබූ බවට සාධක  හමුවී  ඇත. එහි ඇති අති විශාල ගල්කණු ඊට සාක්ෂි  දරයි. මෙම ඇත්ගාල විහාරාරාම  සංකීර්ණය ඉදිකිරීම සඳහා  විශාල ගල්කණු  හා පුවරු  ආදිය රැගෙන යාමට යොදාගත්  අලි  ඇතුන් ගාල් කළ ස්ථානය  ලෙස සැළකේ.


පෙර රජ දවස දීප්තිමත්ව බැබලුණ මෙම ස්ථානය විවිධ  වසංගත  රෝග, පරසතුරු  ආක්‍රමණ ආදි විවිධ  සමාජීය හා පාරිසරික  හේතු මත වල්බිහිවූ අතර  ක්‍රි .ව.1907 දී  අහඹු ලෙස  ලාහුගලට පිඬුසිඟා වැඩි දානෙගල ස්වර්ණජෝති  හිමි විසින් මහජනයාට වැදපුදාගත හැකි පූජා භූමියක් බවට පත්කරන  ලදී.

වර්තමානයේ  මෙය පුරාවිද්‍යා  සංරක්ෂණ ස්ථානයක් ලෙස නම් කොට ඇත.


පානම් පත්තුවේ සියවස් ගණනාවක අතීත ශ්‍රී  විභූතිය ලොවට කියා පාමින්, පාරිසරික හා සමාජීය  හැලහැප්පීම් සියල්ල  දරාගෙන රුහුණේ  මහා විහාරය වූ මඟුල්  මහා වෙහෙර අදටත් ලාහුගල වන සෙනසුන මැද විරාජමාන වේ.





Monday, August 22, 2016

ධවල අස්රුව මැදිකොට දිදුලන මහා දෙවොල - තනිවැල්ලේ දේවාලය


ක් ඉතිහාසය තුළ රජුන් දෙවියන් වූ අවස්ථාවන් කිහිපයක් ගැන විවිධ  මූලාශ්‍රයන් සාක්ෂි  දරයි.

රජෙකු මියගිය පසු දේවත්වයට පත්වනුයේ ඔහු  විසින්  තම පාලිතයන්ගේ  ජීවිතය සුඛිතමුදිත  කිරීම  සදහා කළ උදාර වාරි හා කෘෂිකාර්මික  සංවර්ධනයන් නිසා පමණක් නොව, එම නරපතියන් සතුව තිබූ මානව දයාවන්තභාවයත් නිසාය.

රාජ්‍යත්වයෙන් පසු දේවත්වයට පත් එවන් වූ  ප්‍රාදේශීය නරවරයෙකු වන්දනා කිරීම  සඳහා  ඉදිකළ පුත්තලම්  දිස්ත්‍රික්කයේ  පිහිටි සුප්‍රසිද්ධ  දෙවොලකිතනිවැල්ලේ දේවාලය.


කෝට්ටේ රාජධානියේ  රජ කළ  VIII පරාක්‍රමබාහු  හෙවත් වීර පරාක්‍රමබාහු  රජුගේ  දෙවෙනි බිසවකගේ පුත්‍රයෙකු වූ තනියවල්ලභ කුමරු  කෝට්ටේ  රාජධානියේ  පාලනයට අතිශයින්ම සහය වූ ප්‍රබල යුවරජෙකු බව පූජාවලිය සඳහන්  කරයි.

මේ යුගය වනවිට කෝට්ටේ  රාජධානියට ආදායම්  ලැබෙන ප්‍රධාන  බල ප්‍රදේශයක් ලෙස සලාවත මාදම්පා ප්‍රදේශය  සලකන ලද බව පෙනේ.
ඇත්දළ, මුතු සහ සහල් සඳහා  වෙළෙඳ  මධ්‍යස්ථානයක්  ලෙසද මෙම ප්‍රදේශය  සලකන ලදී. ඒ අනුව  බලන කළ මාදම්පා  ප්‍රදේශය  ප්‍රබල ප්‍රාදේශීය  රාජ්‍යක් ලෙස පැවතුණ බව පෙනේ.

ඉංදියාවට බොහෝ  ආසන්න වීම නිසා දකුණු  ඉංදීය ආක්‍රමණකාරී කණ්ඩායම්  මෙන්ම කොල්ලකරුවන්ද නිරන්තරයෙන්  මේ ප්‍රදේශවලට අවතීර්ණ  විය.
මේ කරුණු  හේතු කොටගෙන සලාවත මාදම්පා ප්‍රදේශයට ප්‍රබල පාලකයෙකුගේ මෙහෙයවීම අත්‍යවශ්‍ය  වූ බව සූර වීර නරපතියෙකු වූ තනියවල්ලභ  රජුන්ට මේ ප්‍රදේශයේ පාලනය බාර දීමෙන්ම පෙනී යයි.


රාජාවලියට අනුව තනියවල්ලභ  යනු අතිශූර  රණශූරයෙකි.

තනියවල්ලභ  රජු අතිශයින්ම  කරුණාවන්ත  ඉතා කාර්යශූර පුද්ගලයෙකු බව මූලාශ්‍ර වල සදහන්  වේ.

නිරන්තරයෙන්ම  සුදු ජටාවක් බැඳ සුදු අශ්වයෙකු පිට නැඟී  මාදම්පා  ප්‍රදේශයේ කෙත්වතු හරහා එතුමා  විදුලි  වේගයෙන්  ගමන්  කරුණු  ලැබූ  බව  පැරණි  ගම්වාසීන්ගේ  මතයයි .

ප්‍රදේශයේ  කෘෂිකර්මාන්තයට  අනගි සේවයක් කළ තනියවල්ලභ  රජු කුඩා වැව් කිහිපයක්ම  තනවන ලද බව මූලාශ්‍ර වල සඳහන්  වේ.

අදටත් මෙම ප්‍රදේශයේ  ජනයා  කෘෂිකර්මාන්තයේ  යෙදෙන්නේ  මෙම වැව්  ජලය ප්‍රයෝජනයට  ගනිමිනි .


තනියවල්ලභ  රජුගේ මරණය සිදුවූ ආකාරය පිළිබඳ  විවිධ  මතයන් ඇතත්  මෙම ප්‍රදේශයේ  ජනී ජනයා විශ්වාස කරනු ලබන අනුවේදනීය  ජනප්‍රවාදයක්ද වේ.

මුක්කර්වරු සමඟ අවසාන මහා සටනට යාමට ප්‍රථම  සිය රාජ්‍ය කටයුතු  තම අගමැතිට පැවරූ රජු සටනට පිටත් විය.

තනියවල්ලභ  රජුගේ  බිසව අතිශයින්ම  සුරූපී  කාන්තාවකි.
දුටුවන් වශීකරවන  රූපශ්‍රීයෙන් යුතු ඇයව ජනප්‍රවාදයේ වර්ණනා  කරන්නේ මෙසේය.

පසිදු තනියවල්ලභ  බිසවගෙ රුසි                       රූ
මුහුදු  තරණ කරනට හැකිවෙයි කවු                    රූ
සුමුදු  ඉතිරි ගුණයෙන් පිරිපුන් මහ                      රූ
පුරුදු  කවි ඇසට ඇස පෙනෙනුයෙ මෙ අයු         රූ

බිසව පිළිබඳව කලෙක පටන් සිත් ඇතිව සිටි  මහ ඇමති  කල්යල් බලා අයුතු  යෝජනාවක්  කළ අතර එය නොපිළිගත් බිසව රජු ආපසු පැමිණි  පසු දඬුවම්  ලබා දේයැයි බිය වූ ඇමතිවරයා කුමන්ත්‍රණයක් කර රජතුමා  මියගියා යැයි දේවියට දැනගැනීමට  සැලැස්වූ අතර මෙය දැනගත්  බිසව අසල වූ  වැවට පැන දිවි තොර කරගත් බවත් සටන ජයගෙන ආපසු  පැමිණි  රජු මින් කම්පාවට  පත්ව අසල වූ ගං ඉවුරක සිය කඩුව සිටුවා එය උඩට පැන දිවිනසා ගත් බවත් පැවසේ.
රජු දිවිනසා  ගත් තැන වූ ඔයට මිනිසුන් අදද ව්‍යවහාර කරණුයේ කඩුහිටි ඔය නමිනි.

තනියවල්ලභ  රජුගේ මරණය  සම්බන්ධ  අනෙක් ජනප්‍රවාදය වනුයේ තනියවල්ලභ  රජුගේ දියණියගේ  පුත්‍රයා වූ "කෝට්ටේ ව්‍යාඝ්‍රයා" යනුවෙන් විරුදාවලිය  ලද සුප්‍රසිද්ධ  රණශූරයෙකු වූ වීදිය බණ්ඩාර  අතින් තනියවල්ලභ  රජු මියගිය  බව කියවෙන කතා පුවතය.

එවන් වූ තවත් කතා පුවතකින් කියවනුයේ රජු පෘතුගීසින් අතට පත්ව මියගිය බවය.

ජනකතා, ජනශ්‍රැති, ජනප්‍රවාද මෙන්ම ඉතිහාසඥ මතයන් කෙසේ වුවද  තනියවල්ලභ  රජුගේ  මරණින්  පසු ප්‍රදේශයේ  ජනයා ඔහු දේවත්වයෙන්  පිදූ බවට සුප්‍රසිද්ධ  මාදම්පා  තනිවැල්ල්‍ෙ  දේවාලය  සාක්ෂි  දරයි.

වත්මන් තනිවැල්ල්‍ෙ  දෙවොල කවදා  කවුරුත්  විසින්  ඉදිකරන  ලදදැයි තොරතුරු  සඳහන්  නොවුණද මෙම ස්ථානයෙහි පුරාණයේ පැවති මහා නුග වෘක්ෂයට, ප්‍රදේශය  හරහා ගියවුන්  නුග අත්තක් කඩා තනියවල්ලභ  දෙවියන්  නමට එල්ලූ බව පැවසේ.


පසුකලෙක  මෙම  ස්ථානයේ තනියවල්ලභ  දෙවියන් නමින්  දේවාලයක්  ඉදිකොට  ඇති  අතර  වර්තමානයේ  දර්ශනය  වන ආකාරයට ගොඩනගා ඇත්තේ 1845- 1850 කාලයේදීය.


මෙම දෙවොලහි ඇති  සුවිශේෂීම නිර්මාණය  වන්නේ  මෙහි  ඉදිකොට  ඇති  සුදු  අශ්වරුවයි. මෙය දේවාලය දෙසට දිවයන ආකාරය නිරූපනය  වන සේ නිම කොට ඇති  අතර තනියවල්ලභ  රජුගේ  සුදු  අශ්වයා මින්  සංකේතවත්  වන බව පෙනේ.


මෙම අශ්වරුව ඉදිකිරීම සම්බන්ධ  රසවත් කතා පුවතක්ද වේ.

දේවාලය  ඉදිරිපිටින්   අශ්වයන් දෙදෙනෙකු  සහිත සිය කරත්තයට නැගී මහා අහංකාරකමින් ගමන් කළ ධනවත්  හෙට්ටි මිනිසෙකු දේවාලය පසුකරන විටම අසුන් කරත්තයද සමඟ  අසල වූ  තිනිපිටි වැවට පැන්න බවත් ඉන් ඔහු තුවාල ලැබූ බවත් මහත් වෑයමෙන්  තුවාල සුවකර ගත් ඔහු නැවතත් ඒ අසලින්  ගමන් කරන විට පෙරමෙන්ම අසුන්  වැවට  පැන්න  බවත් එවර ඔහුගේ  දිවි අපහසුවෙන්  ගැලවුණ  බවත් තමා සුවවූ පසු දේවාලයට අශ්ව රුවක් ඔප්පු  කරන බවට භාරවූ බවත් සුවවී පැමිණි  හෙට්ටි  මිනිසා ලී වලින් අශ්වරුවක් සාදා දේවාලයට  පූජා  කළ බවත්  පැවසේ.

පසු  කලෙක  එම ලී අශ්වරුව  මැදිකොට වර්තමානයේ  පෙනෙන  අශ්වරුව  ගොඩනගා  ඇති බවත්  පැවසේ .

මේ කතාන්දර  කෙසේ වුවද විරුවෙකු  වෙනුවෙන්  ඔහු  සිහිපත්  කිරීමට  කාලයක්  තිස්සේ  ගොඩනැගුණු  පූජනීය  ස්ථානයක්  ලෙස තනිවැල්ලේ  දෙවොල සැලකිය  හැකිය.


මෙම දේවාලය  සම්බන්ධ අනෙක්  විශේෂිතම  කරුණ වන්නේ මෙම දෙවොලෙහි තේවා කටයුතු සිදුකිරීම සඳහා නිශ්චිත පරම්පරාවක් නම්කොට නොමැති වීම වන අතර, තේවා කටයුතු  සිදුකරනු  ලබනුයේ වැටුප් ලබන්නන් විසින් වීමය. වර්තමානයේ  තනිවැල්ලේ  දේවාලය භාරකාර  මණ්ඩලයක් මගින්  පාලනය  කරණු  ලැබේ .


සිරිලක නන්දෙසින්   බැතිමත්හු  දහස්ගණනින් ආශිර්වාද  ලබාගැනීමට  දිනපතා මෙහි පැමිණෙති .

අස්වනු කපාගන්නා සමයේ කුඹුරු  උඩින් රාත්‍රි  යාමයෙහි සුදු  අශ්වයෙකු  පිට නැඟී  තනියවල්ලභ  රජතුමා  ගමන්කරන්නේ යැයි ජනතාව විශ්වාස  කරන්නේ ඒ නිසා විය හැකිය.


සුන්දර කෙත්වතුයායක් මැද පරිසරය පිස එන සිහින් මද නල රැඳි රමණීය  බිමක සුදු අශ්වරුව  මැදිකොට සුවහසක් ජනී ජනයාගේ දුක, සතුට සමසිතින් දරාගෙන තනිවැල්ලේ දෙවොල ධවල පැහැයෙන් බබලමින් තිනිපිටි වැව අසබඩ  නැගී සිටී.