Sunday, June 19, 2016

හේවිසි හොරණෑ හඬ නැගෙන කතෝලික පුදබිම- වහකෝට්ටේ ශාන්ත අන්තෝනි දෙව්මැදුර




හකෝට්ටේ, වාසල කෝට්ටේ හා වසකෝට්ටේ නමින් උඩරැටියන් හැඳින්වූ වහකෝට්ටේ ග්‍රාමය වර්තමානයේ ප්‍රසිද්ධියක් උසුලන්නේ සුප්‍රසිද්ධ ජන වන්දනා ස්ථානයක් වූ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානය නිසාය.

මෙම ග්‍රාමයට වහකෝට්ටේ නාමය ලැබීම හා සම්බන්ධ ජනප්‍රවාදයන් හා ජනශ්‍රැති කීපයකි.
 
තම සැමියාගේ මරණයෙන් කම්පනයට පත්වූ බිසවක් කොට්ටය යට තබාගත් වස බීමෙන් දිවි නසාගත් යන අරුතෙන් වසකෝට්ටේ හෙවත් වහකෝට්ටේ වූ බව එක් ජනප්‍රවාදයකි.

එසේම රජවාසලට ඇතුළු වීමේ දොරටුව හෙවත් ප්‍රධාන වාහල්කඩ පිහිටි ස්ථානය යන අරුතෙන් වාසලකෝට්ටේ නමින් හඳුන්වන බව අනෙක් ජනප්‍රවාදයයි.
 
ජනශ්‍රැති හා ජනප්‍රවාදයන් කෙසේ වුවද දුටුගැමුණු රජතුමා එළාර රජු පැරදවීමෙන් අනතුරුව ක්‍රි.පූ.164 දී වහකෝට්ටේ කුඩා බලකොටුවක් ඉදිකළ බවට ඉතිහාසගත මූලාශ්‍ර වල සඳහන් වේ.
 
මේ ආසන්නයේ ඇති පැරණි බලකොටුවක නටඹුන් ඵ් බවට සාක්ෂි දරයි. මෙවන් ඵෙතිහාසික භූමියක් කතෝලික ජනතාවගේ පුණ්‍ය භූමියක් වූ ආකාරය පිළිබඳ මෙහි වෙසෙන්නන් සිහිපත් කරනුයේ බොහෝ භක්ත්‍යාදරයෙනි.
 
1505 දී ලංකාවට පා තැබූ පෘතුගීසින් විසින් හඳුන්වා දුන් රෝමානු කතෝලික දහම ඔවුන්ගේ පාලනයට නතුවූ මුහුදුබඩ ප්‍රදේශයන්හි නිදහසේ ප්‍රචලිත විය.

1658 දී පෘතුගීසි පාලන ප්‍රදේශ යටත්කොට ගත් ලන්දේසීහු තමාගේ ප්‍රධාන සතුරු ආගම වූ රෝමානු කතෝලික දහම ඇදහීම තහනම් කළහ. කතෝලික දෙව්මැදුරු හා පූජ්‍යස්ථාන අල්ලා ගත් ලන්දේසීහු කතෝලිකයන් වූ පෘතුගීසින්ට බොහෝ හිරිහැර කළහ. ලන්දේසින්ගේ තාඩන පීඩන ඉවසාගත නොහැකි වූ බොහෝ පෘතුගීසීහු එවකට රජකල දෙවැනි රාජසිංහ රජුගේ කරුණාව පතා උඩරටට සංක්‍රමණය වූහ.

ඒ අනුව රට මැදට පැමිණි මොවුන්ව රජු විසින් රුවන්වැල්ල, සීතාවක , වෑවුඩ සහ වහකෝට්ටේ යන ප්‍රදේශ වල පදිංචි කරවූ බව රොබට් නොක්ස්ගේ ලංකා විස්තරය නම් ග්‍රන්ථයේ සදහන් වේ. පෘතුගීසින් පස් දෙනෙකු ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ හා දේව මාතාවන්ගේ සුරුවම් රැගෙන රජුගේ රැකවරණය පතා පැමිණි බවත් ඉන් තිදෙනෙකු ශාන්ත අන්තෝනි සුරුවම සමඟ රජුගේ අවසරයෙන් වහකෝට්ටේ පදිංචි වූ බවත් පැවසේ.  

මෙම ශාන්ත අන්තෝනි සුරුවම අදටත් මේ පුදබිෙම් 
වන්දනාමාන කරන්නන්ට දැකගත හැකිය. මෙම  හඳුන් ලී  සුරුවමේ විශේෂත්වය වන්නේ වෙනත් ශාන්ත අන්තෝනි පිළිරූ වල මෙන් මෙහි ජේසු බිළිදාගේ රුව නොමැති වීමය.

දෙවන රාජසිංහ රජුගේ මරණින් පසු රජ පැමිණි කීර්ති ශ්‍රී රාජසිංහ රජු කතෝලික විරෝධියකු විය. ඔහු උඩරට පදිංචිව සිටි පෘතුගීසින් ගම්මාන වලින් පළවා හැරිය බව ඉතිහාසගත මූලාශ්‍ර සදහන් කරයි.
 

මේ යුගයේදී වහකෝට්ටේ විසූ පෘතුගීසීහු ශාන්ත අන්තෝනි ප්‍රතිමාව හරක් මඩුවක සඟවා තැබූ අතර රාත්‍රියේදී එම ස්ථානයේදී රහසිගත යාඥා මෙහෙයන්ද පැවැත්වූහ. එමෙන්ම රාජ පුරුෂයන්ගෙන් ප්‍රතිමාව බේරා ගැනීම සඳහා ප්‍රතිමාව බත් මුට්ටියක සැඟවූ කතාවක් අදටත් මෙහි ජනයාගේ තුඩ තුඩ පැවතෙන්නකි.
 
කතෝලිකයන්ට ලන්දේසීන්ගෙන් සිදුවන තාඩන පීඩන වලින් ඔවුන් මුදා ගැනීම සඳහා ලංකාවේ ශුද්ධවරයට ඔසවා තබන ලද ශාන්තුවරයාණන් වූ ජුසේවාස් පියතුමාණන් ගෝවේ සිට පැමිනෙන්නේ මේ යුගයේදීය.
 
සිය ගෝලයා වන ජෝන් සමඟ 1687 දී මන්නාරමෙන් ලංකාවට ගොඩබට ජුසේවාස් පියතුමා වහකෝට්ටේ ග්‍රාමයට පැමිණ හොර රහසේම ආගමික කටයුතු සිදුකළ බවත් පැවසේ.
 
අද ජුසේවාස් මණ්ඩපය ලෙස හඳුන්වන්නේ එම ආගමික කටයුතු සිදුකළ ස්ථානයයි.
 
ජුසේවාස් පියතුමාණන් විසින් පිහිටුවනු ලැබූ කුරුසිය අදටත් වහකෝට්ටේ පුදබිමේ දක්නට ලැබේ.  



මෙම ආගම් ප්‍රචාරයට විරුද්ධවන රජු ජුසේවාස් පියතුමාව අත්තඩංගුවට ගෙන සිරගත කරණු ලැබූ බව පැව‍සේ.
 
දෙවන විමලධර්මසූරිය රාජ්‍ය සමයේදී මහා නියං සමයක් පැමිණි බවත් ජුසේවාස් පියතුමා යාඥා පවත්වා වර්ෂාව ලබා දුන් බවත් එයට ප්‍රති උපකාර ලෙස රජු විසින් එතුමාගෙන් පැහැරගෙන තිබූ ප්‍රතිමා ඇතුළු සියලු භාණ්ඩ වහකෝට්ටේ දෙව්මැදුර තෙක් පෙරහැරෙන් රැගෙන ආ බවත් ඵෙතිහාසික මුලාශ්‍රවල සඳහන් වේ.

මෙම ප්‍රතිමා ඇතුළු පූජා වස්තු වහකෝට්ටේ දේවස්ථානය වෙත ගෙන ගියේ රාජ ගෞරව සහිතව හේවිසි හොරණෑ හඬ මධ්‍යයේලු.
 
අදත් වහකෝට්ටේ පුදබිමේ හේවිසි නාද පවත්වන්නේ එහි සංකේතයක් ලෙස බවයි පවසනුයේ. ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන වහකෝට්ටේ සිද්ධස්ථානය මුල් කාලයේ පැවත ඇත්තේ පොල් අතු මඩුවක් ලෙස වන අතර ක්‍රි .ව. 1696 දී ජුසේවාස් පියතුමා විසින් මෙය තවදුරටත් ගොඩනගා ඇති අතර මෙම පුදබිම ශ්‍රී ලංකාවේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ට කැපවූ පැරණිතම සිද්ධස්ථානයද වේ.



එමෙන්ම නුවර පදවියේ වැඩිම කතෝලික පිරිසක් වෙසෙන ග්‍රාමය ද වන්නේ වහකෝට්ටේයි. 
  
ක්‍රි .ව.1815 ඉංග්‍රීසින් උඩරටට පැමිණ කතෝලික දහමට අනුග්‍රහය ලැබෙන තුරු වහකෝට්ටේ කතෝලිකයින් තම ආගම ඇදහීමේ නිදහස බහුතර බෞද්ධයන් මධ්‍යයේ නොකඩවා පවත්වාගෙන ගියහ.
 
වහකෝට්ටේ නව දේවස්ථානය ගොඩනගන ලද්දේ 1938 දීය. මෙම දේවස්ථානය ඉතාලි ගෘහනිර්මාණ ශිල්පයට අනුව නිර්මාණය කර ඇති අතර එහි වහල යටලී භාවිතා නොකොට නිර්මාණය කිරීම විශේෂත්වයකි.



 













ගොතික් සම්ප්‍රදායයට අනුව ඉදිකොට ඇති වහකෝට්ටේ දෙව්මැදුරට විශාලත්වයෙන් සම කළ හැකි දෙව්මැදුරු ලංකාවේ නොමැති තරම්ය.
දැනට පවතින වහකෝට්ටේ දෙව්මැදුර වසර 400 ඉතිහාසය තුළ ඉදිකරන ලද සතරවන දෙව්මැදුරයි. එමෙන්ම මෙරට ඇති කතෝලික දේවස්ථාන අතුරින් මංගල්‍ය දෙකක් පවත්වන එකම ශාන්ත අන්තෝනි දේවස්ථානය ලෙසත් වහකෝට්ටේ සලකනු ලැබේ. ජුනි හා අගෝස්තු මාසයේ පවත්වන මෙම මංගල්‍යයේදී පංච තූර්ය වාදන මධ්‍යයේ සියලු වතාවත් සිදු කිරීම මෙහි ඇති විශේෂත්වයයි.


 

 














17 වන සියවසේ සිට අද දක්වාම මෙම චාරිත්‍රය නොකඩවා සිදුකරනු ලබන්නකි. එමෙන්ම ලංකාවේ වෙනත් කිසිදු දේවස්ථානයක නොමැති විශේෂ තනතුරක්ද මෙහි පවතී.
 
මුහුප්පු පට්ටම නමින් තනතුරක් ඇති කරවා ඒ සඳහා ගිහි නායකයන් පත්කරන ලද්දේ ජුසේවාස් පියතුමා විසින් වන අතර මුහුප්පු යන්න පෘතුගීසි වදනක් වේ. එම තනතුර අදටත් වහකෝට්ටේ දේවස්ථානය හා බැඳී පවතින තනතුරක් වේ.

බෞද්ධයන් හා මිශ්‍ර වෙමින් ඔවුන් හා ආගමික සංහිදියාවෙන් වෙසෙමින් බෞද්ධයන්ගේද නොමද ගෞරවාදයට පාත්‍ර වෙමින් ඵෙතිහාසික හා පෞරාණික වටිනාකම් මෙන්ම ආගමික සහනශීලිත්වයෙන්ද ලොවට ආදර්ශයක් සපයමින් තුරුවැල් වලින් ගහණ රමණීය පරිසරයක් මැද ශුද්ධවූ අන්තෝනි මුනිඳුන් අදත් ලොවට සෙත සදමින් වැඩසිටී.

 





24 comments:

  1. හොඳ විස්තරයක්.
    දේශපාලයෙක්ගෙ නම නැතුව සමරු පලකයක් දැක්කමද කොහොද මේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රසන්න.....ඇත්ත නේන්නම...දේශපාලකයන්ගෙ නම් නැති ඵලක හොයා ගන්න ලේසි නෑ තමයි.

      Delete
  2. බෞද්ධාමිකයෙකු පමණක් නොව විෂයයක් ලෙස බෞද්ධාගම උගන්වන ගුරුවරියක ලෙසත් අන් ආගමකට සම්බන්ධ සිද්ධස්ථානයක් පිළිබඳ වර්ණනාත්මකව ලියන්නට තරම් විවෘත මනසකින් යුතු වීම අගය කරන්නේ සෝබනේට තමන්ගේ ආගම කර තබාගෙන යන අය බහුල නිසයි.

    ReplyDelete
    Replies
    1. ඒ විවෘත මනසට හේතුව අප එදා සිට අද දක්වාම විවිධ ආගමිකයින් සමග සහජීවනයෙන් ජීවත් වීමයි.

      Delete
  3. ඔබේ වෑයම හරිම වටිනවා

    ReplyDelete
  4. කතෝලිකයන් උඩරටින් පලවාහැරියේ කීර්ති ශ්‍රී රාජසිංහ නොව ඔහුට පෙර රජු වූ ශ්‍රී විජය රාජසිංහයි.
    එළාර දුටු ගැමුනු යුගය සම්බන්ධ පුරාවෘත්ත නම් පිලිගන්න බෑ නේද .ඔය ප්‍රදේශයෙ එම යුගයේ කිසි ඓතිහාසික කතාවක් නැහැනෙ.

    ReplyDelete
    Replies
    1. කතෝලිකයන් උඩරටින් පලවාහැරියේ කීර්ති ශ්‍රී රාජසිංහ නොව ඔහුට පෙර රජු වූ ශ්‍රී විජය රාජසිංහ බවට ඇති මූලාශ්‍ර සඳහන් කරන්න හැකි නම අගෙයි.
      මේ ප්‍රදේශය ආසන්නයේ පිහිටි රිදී විහාරය දුටුගැමුණු රජු හා බැඳුණු ඓතිහාසික මූලාශ්‍ර සහිත ස්ථානයක්.

      Delete
  5. ලස්සන කතෝලික පල්ලියක්නේ. වෙලාවක ආවහම යන්න ඕනේ. මම ස්කවුටින්ග් ඩියුටි කරලා තියනවා කොච්චිකඩේ පල්ලියේ.

    ReplyDelete
    Replies
    1. අජිත්, ගිහිං බලන්නම වටින තැනක්.

      Delete
  6. http://nelumyaya.com/?p=6064
    ඉතිහාස කතාව වටිනවා

    ReplyDelete
    Replies
    1. නෙළුම් යායට ඈඳ ගත්තට ස්තූතියි.

      Delete
  7. මාසෙකට සැරයක් විතර මෙතනින් යනවා. හැබැයි යන්නේ පාන්දර 5 ට විතර. ඒ නිසා බලන්න බැහැ. ආපහු එන්නේ මේ පාරෙන් නෙවේ. නමුත්, මේ පින්තූර දැක්කම හිතුනා ගිහින් බලන්න ඕනේ කියලා.

    ReplyDelete
    Replies
    1. නිතර දකින දේ අගය නැහැනෙ. ගිහිං බලන්න වටිනවා.

      Delete
  8. කලින් කමෙන්ට් එකක් දැම්මා එය වැටිලා නැහැ වගේ.

    මසකට වරක් පමණ මේ දේවස්ථානය අසලින් ගියත් ගොඩවෙලා යන්න බැහැ. මා යන්නේ පාන්දර 5.00 ට පමණ නිසා. ආපහු එන්නේ මේ පාරෙන් නොවන නිසා අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. නමුත් මේ ලිපිය කියෙව්වාට පස්සේ හිතාගත්තා කොහොමහරි ගිහින් බලන්නට.

    ReplyDelete
    Replies
    1. අධික අවිවේකී බව නිසායි එන්න පමා වුණේ. ඔන්න දැම්මා.

      Delete
  9. විමලධර්මසූරිය රජු රාජ්‍ය පාලනයට කතෝලික සහය ලබා ගැනීම සඳහා පහසුකම් සපයා ඇති බවත් කියැවෙනවා.එසේ ලබා දෙමින්ම දෙපැත්ත බේරා ගැීම සඳහා තේවාව වැයීමට අණ පැන වූ බවත් කියැවෙනවා.
    ඒකේ දේශපාලනය හරි අපූරුවට විග්‍රහ කරන්නෙ නැසී ගිය ෂෙල්ටන් පයාගලයන්.එසේම එහි තිබෙන එක් ගීතිකාවක තනුව ප්‍රේමයෙන් මන රංජිත වේ නේද?එයින් උපුටා ගැනිමක් ලෙසයි මනමේ ප්‍රේමයෙන් මන රංජිත වේ ගීතය ඉපදී තියෙන්නෙ.එයත් සොයා බැලිය යුතු කතාවක්.එහි පළමු ගීතිකාව ගෝවේ ට සම්බන්ධ බවයි කියැවෙන්නෙ..
    හොද ලිපියක්.අවධානය යොමු කළ යුතු සැග වූ කරුණු ගොඩ දැමීම ලොකු මෙහෙවරක්....
    තිබෙන සහ ඇහෙන ඉතිහාසය මෙන්ම ප්‍රකට දේ පිළිබඳවත් සොයා බලන්න.. ඒ සියල්ල ඔබේ වේදිකාවේ විසුරුවා දමා අන් අයට ඒවා රංග භාන්ඩ කර භාවිතයට ගෙන නිදහසේ රඟන්නට ඉඩ දෙන්න.
    මේක හොඳ වේදිකාවක්...!

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහසට ස්තූතියි.

      Delete
  10. ලිපිය කියවන්න ලැබුණේ දැන් දුර්ලභ අපුරු විස්තර ගොඩක් ස්තුතියි

    ReplyDelete
  11. නිර්දේශ වීම තුල ලිපියට සාධාරණය ඉටුව තිබෙනවා. දුලබ කරුණු කෙසේ සොයාගත්තාදැයි සිතුනා. හෙළ සංස්කෘතික ලක්ෂණ හා කතෝලික සම්ප්‍රදාය මුහු වීම සම්භන්ධයෙන් ඔබ ලබාදෙන පණිවිඩය වෙනම කතිකාවක් ඇතිවිය යුතු තරමටම වටිනා කතන්දරයක් ස්තුතියි ඔබට .

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහසට ස්තූතියි.

      Delete