Saturday, October 17, 2015

සිරිසඟබෝ රජු මහා දාන පාරමිතා පිරූ හස්තිකුච්ඡි විහාරය



  
සිහලවත්ථුවේ ඇත්කුස විහාරය නමින්ද සෙල්ලිපි වල අතිකු(චි)ය විහාරය නමින්ද විසිද්ධිමගෙහි හස්ථිකුච්චි විහාරය නමින්ද,හත්ථවනගල්ල විහාර වංශයේ හත්තවනගල්ල නමින්ද සදහන් වන හස්තිකුච්ඡි විහාරය ශ්‍රී ලාංකේය ශාසන ඉතිහාසයේ ඉතා වැදගත් සංධිස්ථානයක් සටහන් කළ වන්දනීය වූ පූජා භූමියකි.

සියවස් කිහිපයක් පුරා දිවෙන ඉතිහාසයකට උරුමකම් කියන හස්තිකුච්ඡි විහාරය ක්‍රි.පූ. 3 සියවසේ සිට ක්‍රි.ව. 9 සියවස දක්වා වූ දීර්ඝ කාල පරාසයකට අයත් වූ සෙල්ලිපි එකම ස්ථානයකින් හමු වූ ලංකාවේ එකම පූජා භූමියද වේ.

අක්කර 300 පමණ පුළුල් වපසරියක් පුරා විහිදී යන මෙම වන සෙනසුන හා බැඳුණු පුරාවෘත්ත මෙන්ම ඉතිහාසගත කරුණු රාශියකි.


ක්‍රි.ව. පළමුවන සියවසේ ලියන ලද සහස්සවත්ථූපකරණයේ හස්තිකුච්ඡි වන සෙනසුනට පැමිණි සද්ධාතිස්ස රජතුමාගේ බෑනණුවෙක් වූ ඵුස්සදේව කුමරා එහි වූ චෛත්‍යයකට මහා පූජාවක් පවත්වා පූජා භූමියේ වූ ලෙන්, ආසනඝර ආදිය පිළිබඳ ඉතා පැහැදීමට පත්ව එහි විසූ මහාදේව භික්ෂූන් වහන්සේ යටතේ සසුන්ගතව රහත් වූ බව සදහන්ව තිබේ . මින් පෙනීයන්නේ මෙම වන සෙනසුන රහතන් වහන්සේලාගේ පහසින් පවිත්‍ර වූ පුණ්‍යභූමියක් බවය.

එමෙන්ම විශුද්ධිමග්ග ලියූ බුද්ධඝෝෂ හිමියන්ද මෙම හස්තිකුච්ඡි විහාරය රහතුන් වහන්සේලා වැඩ විසූ ස්ථානයක් බවත්, එකල රටවැසියන්ගේ මහා ගෞරවාදරයට ලක් වූ ස්ථානයක් බවත් සදහන් කර ඇත.

මින් පෙනී යන්නේ හස්තිකුච්ඡි විහාරය ලක්දිව බුදුසසුන ස්ථාපිත වූ මුල් යුගයේ සිටම පැවති පුණ්‍යභූමියක් බවය.




හස්තිකුච්ඡි විහාරය හා සම්බන්ධ ඵෙතිහාසික තොරතුරු මෙන්ම ජනප්‍රවාදයන්ද බොහෝය.

ක්‍රි.ව.247 දී ලංකාවේ රාජ්‍යත්වයට පත් ශ්‍රී සංඝබෝධි හෙවත් සිරිසඟබෝ රජු මහා දාන පාරමිතා පිරූ ස්ථානය ලෙසත් හස්තිකුච්ඡි විහාරය සළකනු ලැබේ.

සිරිසඟබෝ රජු හිස දන් දුන් ස්ථානය පිළිබඳ විවිධ මත පළ වුවද ‍ඵෙතිහාසික සිද්ධීන් සලකා බලන කල එය හස්තිකුච්ඡි විහාරයම බව බොහෝ විද්වතුන්ගේ මතයයි.


සිරිසඟබෝ රජු රාජ්‍යත්වයට පත්වූ ආකාරය පිළිබඳ රසවත් ජනප්‍රවාදයක් ද වේ.

ක්‍රි.ව.242 රජ පැමිණි විජය කුමාර් හෙවත් විජයිදු රජුගේ රාජ සේවයට යම්න් සිටි සංඝතිස්ස, සංඝබෝධි හා ගෝඨාභය යන ලම්බකර්ණ වංශිකයන් තිදෙනාගේ අඩි ශබ්දය ඇසුණු තිසාවැව පාමුල සිටි අන්ධ අනාවැකි කියන්නෙක් එම පියවර හඬ විමසා බලා" දැන් මේ ගිය තිදෙනාම ලංකාවේ රජ වන්නේය"යැයි ප්‍රකාශ කළේලු. එම ප්‍රකාශය ඇසුණු ගෝඨාභය ආපසු හැරී අන්ධ අනාවැකිකරුවා වෙත ගොස් විස්තර විමසීමේදී තිදෙනාගෙන් අවසානයට රජවන අය වැඩි කාලයක් රාජ්‍යත්වය දරණ බව පැවසුවේලු.

මෙය දැඩිව සිතට ගත් ගෝඨාභය විජයිදු රජු මරා සංඝතිස්සට රජකම ලබා දුන්නේය. වසර 4 ක් රජ කළ සංඝතිස්ස රජු දැඩි ලෙස ජම්බු කෑමට ලොල්වූවෙකු වූ අතර ප්‍රදේශවාසීන් විසින් ජම්බු වලට වස දමා දීමෙන් මරණයට පත් විය.

මීලඟට රජකම හිමි වූ සංඝබෝධි හෙවත් සිරිසඟබෝ ඉතා සංවේදී රජකෙනෙකු විය. මෙතුමාගේ දැහැමි පාලනය නිසා රටවැසියන් ඔහුට මහත් සේ ඇළුම් කළ අතර මේ හේතුව නිසාම තමාට රජවිය නොහැකි වේදෝයි බිය වූ ගෝඨාභය රජුට විරුද්ධව කැරැලි ගැසුවේය.

සටනකින් සිදුවිය හැකි මිනිස් සංහාරය වළකනු සඳහා රජකම අතහැරි සිරිසඟබෝ රජතුමා පෙරහන්කඩ පමණක් අතැතිව මාළිගයෙන් පිට විය.

රජකම ලැබීත් සෑහීමකට පත් නොවූ ගෝඨාභය රජු සිරිසඟබෝ රජුගේ හිස රැගෙන එන්නෙකුට ත්‍යාගයක් පිරිනමන බව දැන්වූ අතර මිනිසුන් සිරිසඟබෝ රජුගේ හිස යැයි කියා වෙනත් මිනිසුන්ගේ හිස් රැගෙන යන බව දුගියෙකුගෙන් දැනගන්නා සිරිසඟබෝ රජු එම දුගියාට හිස දන් දුන් බවත් එම හිස දන් දුන් ස්ථානය හස්තිකුච්ඡි විහාරය බවත් බොහෝ විද්වත්හු පවසති.


එමෙන්ම මෙම සිද්ධියෙන් කම්පාවට පත් ගෝඨාභය රජු හිස දන්දුන් ස්ථානයේ විහාරයක් කරවූ බව මහාවංශයේ මෙන්ම දීපවංශයේද සඳහන් වෙයි. එම හිස දන් දුන් ස්ථානය ඉසුරුමුණි විහාරයට දකුණු දිශාවේ වූ ස්ථානයක් බව මහාවංශ ටීකාවේ සඳහන්ය.

එම ස්ථානය හස්තිකුච්ඡි විහාරය පිහිටි ස්ථානය බව විද්වත්හු ප්‍රකාශ කරති.

අනුරාධපුරයේ සිට හස්තිකුච්ඡි විහාරයට සැතපුම් 13 ක් පමණ ඇති අතර අනුරාධපුරයේ දකුණු දොරටුවේ සිට තඹුත්තේගම හරහා රාජාංගනයේ හස්තිකුච්ඡි විහාරය දක්වා ඇති පාර අදද හඳුන්වනුයේ "රාජා ගිය පාර" යනුවෙනි. එසේ ප්‍රකාශ කරණුයේ සිරිසඟබෝ රජු රජකම අතහැර ගිය පාර නිසා බව ජනතාවගේ විශ්වාසයයි.


මේ ජන විශ්වාසය කෙසේ වූවද හස්තිකුච්ඡි විහාරය යනු ශ්‍රී ලාංකික ශාසන ඉතිහාසයට, පුරාවිද්‍යාවට මෙන්ම වාස්තු හා ගෘහනිර්මාණ ශිල්පයට වැදගත් වන පුදබිමකි.

ක්‍රි.පූ.3 වන සියවසේ සිට ක්‍රි.ව.9 වන සියවස දක්වා වූ කාල පරාසයකට අයත් සෙල්ලිපි මේ දක්වාම මෙම පුදබිමේ ශේෂව පවතී. මේ අතර සාමාන්‍ය සෙල්ලිපි මෙන්ම වරහළ ලිපි රැසක්ද මේ වන විට සොයාගෙන තිබේ. වරහළ ලිපි යනු විහාර සලාක පිළිබඳ ලියැවී ඇති සෙල්ලිපි වේ. මෙවැනි වරහළ ලිපි රැසක්ම පරිවර්තනය කොට ඇත.

පොහොය ගෙයක්, බුදු මැදුරක්, තෙමහල් ධාතු මන්දීරයක්, වටදාගෙයක්, චෛත්‍යය 8 ක් හා දාන ශාලාවක්, මුල් යුගයේ ලියවුණු සෙල් ලිපි විශාල සංඛ්‍යාවක් අදටත් මෙහි නටඹුන් ලෙස දක්නට ලැබේ.

  
"අස අවරිය සිරස" යනුවෙන් සටහන් කොට ඇති ගල් පුවරුවක් හස්තිකුච්ඡි විහාරයේ නටඹුන් අතර දක්නට ඇත. මෙය පිහිටුවා ඇත්තේ සිරිසඟබෝ රජුගේ හිස ආදාහනය කර ගොඩනගා ඇති, වටදාගෙය සහිත ස්ථුපය ආසන්නයේ බැවින් "සිරිසඟබෝ රජුගේ හිස ආදාහනය කළ තැන මෙතැන විය හැක" යනුවෙන් හස්තිකුච්ඡි විහාරවංශය ග්‍රන්ථයේ නොච්චියාගම සෝමානන්ද හිමි සඳහන් කරයි.
 
පැරණි මුරගල් හා සදකඩපහණ, කොරවක්ගල් හා සිරිපතුල් ආදියද මෙහි දක්නට ලැබේ.
 
මෙහි ඇති විශේෂතම නිර්මාණය වන්නේ අත්තනගල්ල වටදාගෙයයි. මෙය ගල්කුලක් පාදමේ ඉතා දැකුම්කලු ලෙස නිර්මාණය කර ඇති චෛත්‍යයක් වටා ඉදිකර ඇති අතර එහි අවට තේවා මණ්ඩප මෙන්ම පොකුණුද දක්නට ලැබේ.

මෙහි ස්වාභාවික ලෙන්කුටි විශාල ප්‍රමාණයක් දක්නට ඇති අතර කටාරම් සහිත පූජා ලිපි ආදියද දක්නට ලැබේ.


මෙම විහාරයේ චෛත්‍යයට බටහිර කොටස පැරණි හස්තිකුච්ඡි විහාරය ලෙසත් නැගෙනහිර කොටස ගෝඨාභය රජතුමා විසින් කරවූ අභයාරාමය ලෙසත් හදුනාගෙන ඇත. මෙහි සෙල්ලිපි හා නටඹුන් වලට අනුව අභයාරාමය ගෝඨාභය රජතුමා හා ඉන් පසු රජවරුන් විසින් කරවූ ගොඩනැගිලි වල නටඹුන් බවට හදුනාගෙන ඇත.මෙය "තිබිරිවැව" සෙල්ලිපියෙන් වඩාත් තහවුරු වේ.


ජනප්‍රවාද හා ජනශ්‍රැති කෙසේ වුවද මෙම හස්තිකුච්ඡි පුදබිම ඵෙතිහාසික, පුරාවිද්‍යාත්මක මෙන්ම වාස්තුවිද්‍යාත්මක වටිනාකම් සහිත පින් බිමකි.

දැනට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ ඇති හස්තිකුච්ඡි වන සෙනසුන ශ්‍රී ලාංකික සැදැහැවතුන්ට, ඉතිහාසඥයන්ට මෙන්ම පුරාවිද්‍යාඥයන්ටද වටිනාකම් රැසක් සහිත පූජා භූමියකි.

පුරාවිද්‍යාත්මක නිශ්චිත ලිඛිත සාක්ෂි නොමැති වුවද හස්තිකුච්ඡි වන සෙනසුන ලාංකේය රාජ්‍ය ඉතිහාසයේ අවිහිංසාවාදීම රාජ්‍ය නායකයා වූ සිරිසඟබෝ රජුගේ පා පහසින් පින්වත් වූ පින්බිමක් වූ බව නම් නොවනුමානය.



Thursday, August 13, 2015

දුටුගැමුණු රජ දවස තැනූ නාමල් අංග රජමහ වෙහෙර... .




ස්වභාවිකව පිහිටි නා ගස් සමූහයක් ඇති බිම්කඩක නාමල් පෙති හැඩය අනුව විහාර අංගයන්ගෙන් සැදුම් ලද නිසාම "නාමල් අංග" නම් ලද මෙම ඵෙතිහාසික රජමහා විහාරය පිහිටියේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ අඹන්පොළ ග්‍රාමයේ ය.

ක්‍රි.පූ.161-137 යුගයේ රාජ්‍ය කළ දුටුගැමුණු රජු විසින් මෙම විහාරය කරවූ බව සදහන් වේ.
මේ ආසන්නයේ පිහිටා ඇති ඵෙතිහාසික රිදී විහාරයට මහ පෙරහරින් බුදු පිළිමයක් වඩමවාගෙන පැමිණි දුටුගැමුණු රජු හා පිරිස මේ ස්ථානයේ රාත්‍රිය ගත කළ බවත් ,එය සිහිවීම පිණිස කුඩා ස්ථූපයක් කරවූ බවත් පැවසේ.
වර්ථමානයේ ස්ථූපය දක්නට නැතත් එය තිබූ ස්ථානයේ අඩි 40 ක් උස බුදු පිළිමයක් ඉදිකර ඇත. මෙම බුදු පිළිමය දැවයෙන් කර බදාම පුරවා සායම් කරන ලද හිටි පිළිමයකි.


දුටුගැමුණු රජතුමා විසින් ඉදිකරන ලද වෙහෙර බිම පිහිටිස්ථානයේන් පුරාවස්තු රාශියක් හමුවී තිබේ.

අතින් රේඛා නිර්මාණය කර සෑදූ උළු, වාමන රූප , කැටයම් වලින් තොර සදකඩපහණක් , සිරිපතුල් සටහන් කරන ලද ශෛලමය මල් ආසන මෙම භූමියෙන් සොයාගෙන තිබෙි.


 

















කාලයාගේ ඇවෑමෙන් ගන වනාන්තරයට යටවී තිබූ මෙම පුදබිම මහනුවර යුගයේදී කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් ක්‍රි.ව.1747-1782 වකවානුවේදී ප්‍රතිසංස්කරණය කරවා, අංග සම්පූර්ණ විහාරාංග ඉදිකරවා විහාරයේ දියුණුවට ගම්වර පූජා කළ බව පැවසේ.

නාමල් අංග විහාරය හා සම්බන්ධ තවත් ඵෙතිහාසික මුලාශ්‍රයක් තිබේ.එනම් රාජ අනුග්‍රහයෙන් විහාරයට ලැබුණු තල්පතකි. සියම් දේශයෙන් ශ්‍රී ලංකාවට උපසම්පදාව ගෙන ආ යුගයේ විහාරයට පොහොය සීමාවක් ලබා දෙමින් ලියන ලද මෙම තල්පත අදද මෙම විහාරයේ තැන්පත්ව තිබේ.

ක්‍රි.ව.1865 දී , වල් බිහිව තිබූ නාමල් අංග රජමහ විහාරය ගොකරැල්ලේ රතනජෝති හිමියන් විසින් යළි නගා සිටුවා තිබේ.


















වර්තමානයේ නාමල් අංග විහාරයට නවාංග කිහිපයක්ම එක් වී තිබේ. මූර්ති සහ චිත්‍ර වලින් අලංකෘත නව පිළිමගෙය මින් වැදගත් තැනක් ගනී.බුද්ධ චරිතය හා සම්බන්ධ සිදුවීම් මෙන්ම ජාතක කතාද මෙහි චිත්‍රයට නගා තිබේ. එමෙන්ම මෙහි බුද්ධ චරිතයේ අවස්ථා ඇතුළත් මූර්ති රාශියක්ද දක්නට ලැබේ. 

 
















එමෙන්ම නාමල් අංග නව පිළිමගෙයි බිම්මහලේ අපායක්ද මූර්තිමත් කර තිබේ.




















ශ්‍රී ලංකාවේ දස දෙස පිහිටි රජමහ විහාර අතරින් නාමල් අංග රජමහා විහාරය සුවිශේෂී සිද්ධස්ථානයකි.


Tuesday, August 4, 2015

සීතාවක රාජධානියේ දෙව් විමන... බැරැන්ඩි කෝවිල ...


ටේ කිරි සුවඳ යන්නට පවා බැරි වුණා...
යුදට උපන් කුමරිඳු යැයි නමක් ඇති වුණා...
මුල්ලේරියා වෙලෙහි වතුර ලෙයට හැර වුණා...
ටිකිරි කුමරු රාජසිංහ නමින් රජ වුණා...

පෘතුගීසින් වැනි බලවත් ජාතියක් සමඟ උරෙනුර ගැටෙමින් ලංකාවේ වැඩිම ප්‍රදේශයක් පාලනය කළ එකම සිංහල නරපතියා ලෙස සැලකෙන පළමු වන රාජසිංහ හෙවත් සීතාවක රාජසිංහ රජුගේ ළමා කල රණශූරත්වය පිළිබඳ කියවෙන පෙර සඳහන් ගී ඛණ්ඩය කෝට්ටේ යුගයේ විසු වීර නරපතියෙකුගේ ධීර වීර කතා පුවතක ආරම්භය සනිටුහන් කරන්නකි.

ශ්‍රී ලාංකේය රාජ වංශයේ එක් හැරවුම් ලක්ෂයක අවසානය සනිටුහන් කළ ඔහු මායාදුන්න රජ පුත් ටිකිරි බණ්ඩාර කුමරු හෙවත් සීතාවක රාජසිංහ නමින් විරුදාවලිය ලත් පළමු වන රාජසිංහ රජුයි.

ජනශ්‍රැති හා පුරාවෘත්ත මෙන්ම ඵෙතිහාසික තොරතුරු හා මූලාශ්‍ර රැසකින් හෙබි සීතාවක රාජධානියේ විසූ ප්‍රබලම නරේන්ද්‍රයාණන් වූ පළමු වන රාජසිංහ රජු වටා ගෙතුණු වෘතාන්ත බොහෝය.

සීතාවක රාජධානියේ හමුවන ඵෙතිහාසික ස්ථාන අතර වැදගත්ම නිර්මාණය වන්නේ පළමු වන රාජසිංහ රජු විසින් කරවූ බැරැන්ඩි කෝවිලයි.

බැරැන්ඩි කෝවිල ඉදිකිරීම හා බැඳුණු ජනප්‍රිය ඉතිහාසගත පුරාවෘත්තයක්ද ඇත.

සීතාවක රාජසිංහ රජු අතින් සිය පියා වන මායාදුන්නේ රජු මිය යන අතර එම පාපයෙන් මිදීමේ මඟක් සොයා භික්ෂුන් වහන්සේ කරා ගියද පියා ඝාතනය කළ ආනන්තරීය පාප කර්මයෙන් මිදීමට කිසිවක් කළ නොහැකි බව පැවසූ භික්ෂූන් සමඟ වෛරයෙන් ආපසු පැමිණි රාජසිංහ රජු සහනය පතා ශිව ආගම වැළඳ ගත්තේය. ඒ සඳහා රජු පොළඹවනු ලැබුවේ පසු කලෙක රජුගේ මහාමාත්‍ය වූ අරිට්ඨ කී වෙන්ඩු පෙරුමාල් විසිනි.

ශිව ආගම වැලඳගෙන භික්ෂුන් 120 දෙනෙකු දියේ ගිල්වා ඝාතනය කොට ගඟ මැද කෝවිලක් ඉදි කොට පූජා කිරීමෙන් පිතෘ ඝාතක පාපයෙන් මිදිය හැකි බවට අරිට්ඨ කී වෙන්ඩු පෙරුමාල් පැවසූ අතර රජු මේ සියල්ල එලෙසම ඉටු කළ බව ඉතිහාසයේ සදහන් වේ.

මෙසේ ශිව දෙවියන් උදෙසා ගං දෑලේ ඉදිකළ කෝවිල බැරැන්ඩි කෝවිල ලෙස සැලකේ.


බයිරැන්ඩි හෙවත් බැරැන්ඩි යනු ශිව දෙවියන් හැදින්වීම සඳහා යෙදෙන පර්යාය පදයකි. ශිව දෙවියන් වෙනුවෙන් ඉදිකළ අලංකාර කෝවිලක් ලෙස බැරැන්ඩි කෝවිල ඉදි කිරීම රාජසිංහ රජුගේ බලාපොරොත්තුව විය. ඒ ක්‍රි.ව. 1582 තරම් කාලයේදීය.

වසර 20 ක් පුරා මිනිසුන් 2000 පමණ යොදාගෙන කරවූ කිසිදා නිමකළ නොහැකි වූ මෙම කෝවිලේ ඉදිකිරීම වටා ගෙතී ඇති සුප්‍රසිද්ධ පිරුළක්ද ඇත.

..රාජා හෝ.. මා හෝ.. ගංගා හෝ....

රාජසිංහ රජු මෙහි ඉදිකිරීම් කටයුතු බාර කොට තිබුණේ අරිට්ඨ කී වෙන්ඩු පෙරුමාල්ටය.

එහෙත් ඔහු විසින් මෙම කෝවිලේ ඉදිකිරීම් පවත්වාගෙන ගොස් ඇත්තේ කිසිදා නිම කිරීමේ පරමාර්ථයෙන් නොවේ.

ඔහු විසින් ප්‍රකාශ කළා යැයි සැලකෙන ඉහත ප්‍රකාශය මගින් අරිට්ඨ කී වෙන්ඩු පෙරුමාල් අදහස් කොට ඇත්තේ කෝවිලේ ඉදිකිරීම් කටයුතු රාජසිංහ රජු මියගිය පසු අතහැර දැමීම හෝ තමන් මියගිය පසු අතහැර දැමීම සිදුවිය හැකි බවත්, එසේ නොවන්නේ නම් ආසන්නයේම ගලා බසින සීතාවක ගඟ පිටාර ගලා ඉදිකිරීම විනාශ විය යුතු බවත්ය.


ඓතිහාසික බැරැන්ඩි කෝවිල පිළිබඳ කෝට්ටේ යුගයේදී රචනා වු සැවුල් සංදේශයේ මෙසේ සඳහන් වේ.

පවර තුඟු තුල් හිම -ගිරි රජිදහට නද නවන
බස රුත් ලෙසින් වෙන් නොවෙමින් හැම දවස
සසදර බරණ වෙත රඳනා නිති නිදොස
පියුම් යොන් උවිඳු හරසක් ඈ පවර
නොහිම් සුරන්හට වර වර දෙන නිතොර
උතුම් ගුණෙන් යුතු හරඟන හට පවර
ලපෙම් වෙමින් නම කර රැගෙන අවසර

ඓතිහාසික සන්දේශ කාව්‍යයන්හි වර්ණනාවට පාත්‍ර වන්නට තරම් බැරැන්ඩි කෝවිල එදා වැදගත් ස්ථානයක්ව පැවති බවට සැවුල් සංදේශය සාක්ෂි දරයි.

ද්‍රවිඩ වාස්තුවිද්‍යාත්මක ලක්ෂණ පෙන්නුම් කරන බැරැන්ඩි කෝවිල ඉදිකිරීම සඳහා භාවිතා කොට ගෙන ඇත්තේ කැටයම් කරනලද කළුගල් පමණක් වීම විශේෂත්වයකි.


බැරැන්ඩි කෝවිල හා සීතාවක රජ මාලිගය අතර සීතාවක ගංගාව හරහා පාලමක් තනා තිබූ අතර එසේ තිබූ බවට සාධක අදත් ඒ අවට ප්‍රදේශයේ දක්නට ලැබේ.

කෝවිලේ පොළවෙන් උඩට ඉදි කළ අඩිතාලම හා අඩි කීපයක් උඩට මතුව ඉතිරි වී ඇති කැටයම් සහිත ගල් කණුද අද කෝවිල් බිමේ නෂ්ටාවශේෂ ලෙස පවතී.


 'ලංකාවේ පෘතුගීසි යුගය' නම් ග්‍රන්ථය ලියූ පෝල් ඊ පීරිස් මහතා බැරැන්ඩි කෝවිල පිළිබඳ එම කෘතියෙහි සඳහන් කොට ඇත. කෝවිල් බිත්ති වල වර්ණ සිතුවම් ඇද තිබූ බව ඔහු සඳහන් කරයි.

රාම රාවණ යුද්ධය, මහා භාරත කතා පුවත, අසුර යුද්ධය, කඳ කුමරුගේ සිතුවම ද එහි සිතුවම් කර තිබූ බව සැවුල් සන්දේශයේ සැවුල් අස්නේ 94 වන පද්‍යයේ මෙලෙස වර්ණනාවට ලක් කොට තිබේ.

සබඳ දිය රම් රවුළු යුධ, මහබාරත යුද ද
මනරම් කඳ කුමරු පෙර කළ දිත් යුද ද
නිමි කොටැ ඇඳ ඇති නොම සිතියම් රූ
නෙතු සතොස පිරි ලෙන් දැක ගොස්

එනමුදු වර්තමානය වන විට එහි සිතුවම් තිබූ බවට කිසිදු සාධකයක් සොයා ගත නොහැකි වී ඇත.


 භෛරණ්ඩි කෝවිල් බිම තුළ නගරයක සැලැස්මක් දක්නට ලැබීමද විශේෂත්වයකි. මාලිගයේ සිට කෝවිල දක්ව තනා තිබූ ගල් පාලම යටින් දිය අගලක් තිබූ බවක්ද දක්නට ලැබේ. දිය අගල ප්‍රාකාරයට සම්බන්ධ වී තිබී ඇති අතර ගංගාවේ සිට ඉහළට නැඟීමට කළු ගලින් කළ පියගැටපෙළවල් තිබූ බවට වූ නටඹුන් දක්නට ලැබේ. එම පියගැටපෙළ දෙපස අඩක් පසින් යට වූ කොරවක් ගල් අදද දක්නට ලැබේ.

අඩි 100 පමණ දිග ශෛලමය වේදිකාවක් මත පාෂාණ ඇතිරූ මළුවක් වෙයි.මෙම මළුව මැද අඩි 15 පළල අඩි 20 පමණ දිග දෙවොල් ගෙයක් දක්නට ලැබෙන අතර චමත්කාරජනක කැටයම් වලින් යුතු බොරදම් කුළුණුද දක්නට ලැබේ.


බැරැන්ඩි කෝවිලේ මූර්ති අතර නෙළුම් පොහොට්ටුවක හැඩැති දිය පිහිල්ල වැදගත් නිර්මාණයකි. මෙය තනි ගලෙන් නිර්මාණය කර ඇත. ශිව ලිංගය නෑවීම සඳහා භාවිතා කළ කිරි ගලා යාම සඳහා මෙය සාදා ඇති බව පෙනේ.

එමෙන්ම මෙම නටඹුන් අතර පුන්කලස් තුනක්ද දක්නට ලැබේ. කොවිලේ වටේ බැමි වල බොරදම් කැටයම් ආදියද දක්නට ඇත.


බැරැන්ඩි කෝවිල සීතාවක රාජධානියේ ගෘහනිර්මාණ ශිල්පය පිළිබඳ වැදගත් සාධක සපයන නිර්මාණයකි.

කෙසේ වුවද අරිට්ඨ කී වෙන්ඩු පෙරුමාල්ගේ ප්‍රකාශය සැබෑ කරමින් බැරැන්ඩි කෝවිල කිසිදා නිම කළ නොහැකි වූයේ පෙතන්ගොඩ උයනේදී විෂ කටුවක් ඇනීමෙන් 1593 දී සීතාවක රාජධානියේ රණශූර නරේන්ද්‍රයාණන් වූ පළමු වන රාජසිංහ රජු මිය ගිය බැවිණි.
ක්‍රි.ව.1549 දී පෘතුගීසි ආණ්ඩුකාර ෆොරොඤ්ඤො විසින් මෙන්ම පසු කලෙක අසවේදු විසුරේවරයා විසින්ද මෙම කෝවිල කොල්ලකන ලද අතර කෝවිල පාදම දක්වාම සුනුවිසුනු කළ පෘතුගීසි හමුදාව එහි වූ නිදන් වස්තු සොයන ලදී.

1819 දී ඉංග්‍රීසි ජාතික ඩේවි මේ ස්ථානය සොයා යන විට තැන තැන විසිරුණු ගල් සමූහයක් පමණක් තිබූ බව මේජර් ඩේවි ඔහුගේ ප්‍රකට දින සටහන් වල සඳහන් කොට තිබේ.

මෙලෙස පෘතුගීසින් විසින් කිහිප අවස්ථාවකදීම විනාශ කරන ලද බැරැන්ඩි කෝවිල අද ඇත්තේ 1897 දී පුරාවිද්‍යා කොමසාරිස් ව සිටි එච්.සී.පී.බෙල් මහතා විසින් ප්‍රතිසංස්කරණය කොට ගොඩනගා ඇති ආකාරයට බව කෑගලු වාර්තාවේ සදහන් වේ.


මේ අනුව පැරණි සීතාවක රාජධානියේ දැනට ඉතිරිව තිබෙන පුරාණ ස්මාරක අතර ඉතා වැදගත් ස්ථානයක් හිමිකර ගන්නා බැරැන්ඩි කෝවිල 10 වැනි ශතවර්ෂයේ පැවති ප්‍රබල රාජ්‍යයක පුරාවිද්‍යාත්මක හා ආගමික ඇදහිලි පිළිබඳ සාධක සහිත සුවිශේෂී ස්මාරකයක් ලෙස සඳහන් කළ හැකිය.