Friday, April 29, 2016

බැහැර වී යයි කලක් කළ පව් වරක් වැන්දොත් මුල්ගිරේ......




පාලි වංශකථාවන්හි 'සමුද්ද පබ්බත' නමින්ද සිංහල වංශකථාවන්හි 'මුහුදු ගිරි' නමින්ද සෙල් ලිපිවල 'මුහුන්ද් ගිරි' ලෙසද ජනශ්‍රැති හා ජනප්‍රවාදයන්හි ' මුල්ගිරිගල' ලෙසද හඳුන්වනු ලැබූ රෝහණ දේශයේ ප්‍රධාන සිද්ධස්ථානය වූ මුල්ගිරිගල රජමහා විහාරය 17 වන ශතවර්ෂයේදී යුරෝපීයයන් විසින් ආදම්ගේ අළු තැන්පත් කොට ඇතැයි යන අදහසින් 'ඇඩම්බර්ග් ලෙසත් හැඳින්වූ බවට ඵෙතිහාසික මූලාශ්‍ර රාශියකි.

මෙම පර්වතයේ පිහිටි විහාරයට මුල්ගිරිගල නම ලැබීම සම්බන්ධ ජනප්‍රවාදයන් බොහෝය.

ඉන් එක් කතා පුවතක් සද්ධාතිස්ස රජ සමය කරා දිවෙන්නකි.

සිය සොහොයුරු වූ දුටුගැමුණු රජුගේ හදිසි වියෝවෙන් පසු ක්‍රි .ව 137 දී අනුරාධපුරයේ රජ පැමිණි සද්ධාතිස්ස රජු බෞද්ධ ශාසනයට මහා මෙහෙවරක් කළ නරපතියෙකි.

බොහෝ අප්‍රකට ස්ථානවල වෙහෙර විහාර කරවීම මෙතුමා අතින් සිදුවූ අගනාම මෙහෙවරකි.



සද්ධාතිස්ස රජ සමයේදී දඩයමේ ගිය වැද්දන් දෙදෙනෙකු අහම්බයෙන් පැමිණි කැලෑ ප්‍රදේශයක එහා මෙහා ඇවිදින විට රමණීය පරිසරයක පිහිටි කඳුවැටි දෙකක් දුටුවේලු. මෙම කඳු විහාරයක් තැනීමට සුදුසුයැයි සිතූ වැද්දන් මේ බව සද්ධාතිස්ස රජුට දැන්වුවේලු. මේ තොරතුර දැනගත් වහාම රජු ඇමතිවරුන් සහ වැද්දන් සමඟ එම ස්ථානයට පැමිණි බවත් මේ කඳුවැටි දෙකෙන් එකකට හිත ගිය රජුට එහි විහාරයක් කරවීමට අදහසක් ඇතිවූ බවත් ජනප්‍රවාදයට අනුව කියවේ.
මෙහිදී එම කඳුවැටිය පෙන්වූ වැද්දා දෙසට හැරුණු රජු එම වැද්දා පෙන්වා 'මූ කිව් ගල හොඳයි' යැයි ඇමතිවරුන්ට පැවසුවේලු. එදා සිට මේ කන්දට ' මූ කිව් ගල' යන නම වැටුණේලු. පසු කලෙක මූ කිව් ගල වහරට පහසුව සඳහා "මුල්ගිරිගල" වීලූ.

බෝධිවංසයට අනුව "ගිරිබා වෙහෙර" හෙවත් "ගිරිබා ලෙන" නමින්ද හඳුන්වනු ලබනුයේ මෙම මුල්ගිරිගල වෙහෙරයි.

අනුරාධපුරයේ පිහිටි ශ්‍රී මහබෝධීන් වහන්සේගෙන් මුලින්ම හටගත් දෙතිස්පලරුහ බෝධීන් වහන්සේලා රෝපණය කරන ලද ස්ථානයක් ලෙසටයි බෝධිවංසයේ ගිරිබා වෙහෙර පිළිබඳ සඳහන් වනුයේ.



එමෙන්ම "දකුණු වෙහෙර", "මුව්තිරිගල", "මූකිරි ගල්ල", "මූලංගිරිය" යන නම් වලින්ද හඳුන්වනු ලබනුයේ මුල්ගිරිගල විහාරයම යන්නට ඵෙතිහාසික මූලාශ්‍රයන් බොහෝය.

12 වන සියවසේ රජ පැමිණි මාණාභරණ රජු විසින් පිහිටුවන ලද "කහටගමුව සෙල් ලිපියේ " තලා මුහුද් ගිරි විහාරය" නමින් සදහන් වනුයේද මෙම විහාරයම බව පිළිගැනේ.

හත්වන සියවසට අයත් "මුල්ගිරිගල ශිලා ලේඛනයේ" සාධක අනුව පෙනී යනුයේ මුල්ගිරිගල විහාරය රාජානුග්‍රහය ඇතිව පවත්වාගෙන යනු ලැබූ රජමහ විහාරයක් බවයි.

මහාවංසයට අනුව මුල්ගිරිගල විහාරයේ මුදුණේ වූ ස්ථූපය සද්ධාතිස්ස රජු විසින් කරවන ලද්දකි. එමෙන්ම ධාතුසේන රජු විසින් ස්ථූපයක්ද වලගම්බා රජු, පලවන පරාක්‍රමබාහු රජු හා කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් මෙහි ප්‍රතිසංස්කරණ කටයුතුද සිදුකළ බව මහාවංසය සදහන් කරයි.












ස්වභාවික ශෛලමය ලෙන්කුටි හතකින් සමන්විත මහල් පහකින් යුතු මේ ඵෙතිහාසික පූජා භූමිය යුග ගණනාවක විසූ රජවරුන්ගේ නොමද ගෞරවාදරයට පාත්‍ර වූ පූජනීය ස්ථානයක් වූ බවට ඵෙතිහාසික හා පුරාවිද්‍යාත්මක සාධක සාක්ෂි දරයි.
ලෙන් විහාර 7 ක් දාගැබ් 3 ක් සහ කටාරම් කොටන ලද ලෙන් 11 කින් සපිරි මෙම පුදබිම පුරාවිද්‍යාත්මක මෙන්ම වාස්තුවිද්‍යාත්මක වශයෙන්ද ඉතා වැදගත් නිර්මාණයකි.

මුල්ගිරිගල ලෙන් විහාරයන්හි ඇති සුවිශේෂීම ලක්ෂණය වනුයේ මෙහි සෑම ලෙන් විහාරයකම ඇතුළත දහඅට රියන් සැතපෙන බුදු පිළිම වහන්සේලා තැන්පත් කොට තිබීමයි.










එමෙන්ම සෑම ලෙන් කුටියක් තුළම සිතුවම් දක්නට ලැබෙන අතර මෙම නිර්මාණ මහනුවර යුගයට අයත් බව හඳුනාගෙන තිබේ.

මුල්ගිරිගල පිහිටි ලෙන් විහාර හතෙන් දෙකක්ම පිහිටා ඇත්තේ මුලින්ම හමුවන රජමහ විහාර මළුව ලෙස හදුන්වන පාත මළුවෙහිය. මෙහි ඇති ලෙන් විහාර දොරටුවේ 1808 වර්ෂය ලෙස සටහන කොට ඇති අතර මේ අනුව පෙනී යනුයේ පාත මළුවේ ඇති විහාරය කරවා ඇත්තේ ඉංග්‍රීසින්ට යටත් වූ අලුතම බවයි.



මෙම විහාර මළුවේම වැඩ සිටින ඔත් පිළිම වහන්සේ හා සම්බන්ධ රසවත් කතා පුවතක් අදත් එම ප්‍රදේශයේ ජනයාගේ තුඩින් තුඩ රැව් දෙන්නකි.

ඉංග්‍රීසින්ගේ යටත්විජිතයක්ව සිටි සමයේ මුල්ගිරිගල විහාරයේ වැඩවාසය කළ ගෝල හාමුදුරු නමක් ගුරු හාමුදුරුවන්ට හොරා යන්තර මන්තර කටපාඩම් කළේලු. මේබව දැනගත් ගුරු හාමුදුරුවෝ කිහිප වතාවක් දැඩි අවවාද දුන්නත් පොඩිනම අවවාද මායිම් කොලේ නැතිලු. කෙහොමින් කොහොම හරි ඔය කාලෙදි හම්බන්තොට හිටපු ඉංගිරිසි ඒජන්ත උන්නාන්සේ මුල්ගිරිගල වෙහෙර බලන්ට ආවේලු. අනිත් ආගම්වලට ගරු කිරීමේ පුරුද්ද නොතිබුණු ඒජන්තවරයා පාතමළුවේ තිබූ ඔත් පිළිම වහන්සේ පෙන්නලා ගුරු හාමුදුරුවන්ගෙන් පිළිම මෙච්චර විශාල ඇයි කියලා ඇහුවලු. හාමුදුරුවෝත් බොහෝම ශ්‍රද්ධාවෙන් බුදුන් වහන්සේ බොහෝම බලවත් නිසා කියලා පිළිතුරු දුන්නේලු. නක්කලේට හිනාවුණු ඒජන්තවරයා බුදු පිළිමෙ අත උඩට නැගලා ඉඳගෙන කෝ උඹලගේ බුදුන්ගෙ බලය කියලා ඇහුවලු.


තමන්ගේ ශාස්තෘවරයාණන්ට කළ අපහාසයෙන් කෝපයට පත් ගුරු හාමුදුරුවෝ තමා අසල සිටි ගෝල නම දෙස බලලා "තැනේ අර නරකත් දැන් හොඳයි" කීවේලු. ගුරුවරයාගේ වචන වල යටි අරුත තේරුම් ගත් ගෝලනම එකපාරටම සුදු ඒජන්ත නාහෙන් කටින් සෙම දාගෙන බිම වැටෙන්නම "කාලමක්" පිම්බලු.


මින් බොහෝ බියට පත්වූ ඒජන්ත බිරිඳ හාමුදුරුවන්ගෙන් සමාව ගෙන ඒජන්ත සුව කරන ලෙස ඉල්ලා සිටියේලු. සුව වුණු ඒජන්ත තැන බුදුන්ගේ බලය දැක්කා කීවේලු. 
මින් පැහැදුණු ඒජන්තවරයා මුල්ගිරිගල භික්ෂූන් සඳහා සාදන කැඳ වලට අවශ්‍ය ලුනු හිඟබව දැනගෙන මාසෙකට ලුනු බෙර දොළහක් මුල්ගිරිගල පන්සලට දෙන්න යැයි නියෝග කළේලු.
පසු කලෙක මෙසේ ලුනු දෙන එක මදිකමක් ලෙස සිතූ ඉංග්‍රීසි ආණ්ඩුව ඒ වෙනුවට පන්සලට ඉඩමක් පරිත්‍යාග කළේලු.

මුල්ගිරිගල විහාරය ප්‍රසිද්ධ වී ඇත්තේ මෙහි තිබෙන ස්වභාවික ලෙන් විහාරයන්හි බිතුසිතුවම් නිසාය. මෙහි ඇති සෑම ලෙන් විහාරයකම බිතුසිතුවම් දක්නට ලැබෙන අතර මේවා සිවිලිමේ සහ බිත්තිවල සිතුවම් කොට තිබේ. මහනුවර යුගයට අයත් සිතුවම් දක්නට ලැබෙන ප්‍රධාන ස්ථානයක් ලෙස මුල්ගිරිගල විහාරය සළකණු ලැබේ.










මෙහි දක්නට ලැබෙන සිතුවම් අතර සිවි ජාතකය, වෙස්සන්තර ජාතකය සහ තෙලපත්ත ජාතකය කලාත්මක ලෙස නිර්මාණය කර ඇති බව පෙනේ. එමෙන්ම සත් සතිය, සූවිසි විවරණය, දේව රූප, නවග්‍රහ මණ්ඩලයද මෙහි සිතුවම් කොට තිබේ.









මෙම විහාර භූමියේ ගිරි ලිපි හෙවත් සෙල් ලිපි තුනක් දක්නට ලැබෙන අතර භාණක ලෙනේ දැකිය හැකි "මුල්ගිරිගල ලෙන් ලිපිය" ක්‍රි .පූ. 2-1 සියවසට අයත් වන අතර බ්‍රාහ්මීය අක්ෂර වලින් ලියා තිබේ. 

එමෙන්ම පහත මළුවේ ඇති ගිරි ලිපිය ක්‍රි.ව. 6-7 සියවසට අයත් ලෙස සැලකේ. මෙය පුරා සිංහල භාෂාවෙන් ලියැවී ඇති අතර ක්‍රි.ව. 10 වන සියවසට අයත් ලෙස සැළකෙන රජමහ මළුවේ ඇති ගිරි ලිපිය මෑත කාලීන සිංහල භාෂාවෙන් ලියැවී තිබේ.




දකුණේ පුංචි සීගිරිය නමින් විරුදාවලිය ලත් මුල්ගිරිගල වර්තමානයේ බොහෝ අය "මුල්කිරිගල" නමින් ව්‍යවහාර කරණු ලැබේ. අකාලයේ විනාශ වෙමින් පැවති රෝහණ දේශයේ වටිනාම උරුමයක් වූ මුල්ගිරිගල විහාරය 18 වන සියවසේ වටරන්ගොඩ ධම්මපාල හිමියන්ගේ මූලිකත්වයෙන් නැවත වන්දනාමානයට විවෘත විය.

ඒ වන විට පෞරාණික සිතුවම්ද ස්වභාවික හේතුන් මත විනාශ වෙමින් පැවත ඇති අතර නැවත එම සිතුවම් ප්‍රතිසංස්කරණය කිරීමට එවකට සිටි අති දක්ෂ සාම්ප්‍රදායික චිත්‍ර ශිල්පියෙකු වූ දෙවරගම්පල සිල්වත් තැන සම්බන්ධ කොට ගෙන ඇත.










 

සියවස් ගණනාවක් විවිධ යුරෝපීය ජාතීන්ට යටත්ව සිටියදී විනාශ වූ සංස්කෘතික දායාදයන් අතර ජාතියේ පිනකට මෙන් ආරක්ෂිතව පැවති මෙම පුණ්‍ය භූමිය අදත් සුවහසක් ජනී ජනයාගේ අනුපමේය ගෞරවාදයට ලක් වෙමින් රෝහණ ජනපදයේ සුන්දර වන බිමක් මැද අභිමානයෙන් නැගී සිටී.

චන්ද සුගන්දන මන්දිර මණ්ඩල
මණිමේකල ලද දෙවිඳු තුමා... 
චන්දන ගුණ නැණ මුහුද අරක් ගෙන
කලස් දෙකක් ගෙන පුදකර මා...
නන්දන රූ සිරු සඳ පසු ගමනැති
අරුණවතී නම් තරුව සෙමා...
මන්ද පරක්කම බාහු රජුන් කළ
වෙහෙර නොවෙද මුල්ගිරියෙ මෙමා...











Sunday, April 17, 2016

ගැමුණු - තිස්ස පිළිමලුන් වී යුධ විකුම් පෑ බිම එකලු කළ යුදඟනා මහ වෙහෙර..............

රුහුණු, මායා, පිහිටි යන ත්‍රී සිංහලයම එක්සේසත් කොට දිග් විජය නැංවූ මහා නරපතියාණන් වූ දුටුගැමුණු රජුගේ පටන් සිංහල රාජධානියේ අවසානය දක්වාම ජාතියට රණශූරයන් මෙන්ම විමුක්තිකාමීන් රැසක් දායාද කළ පුණ්‍යභූමියක් ලෙස හඳුන්වා දිය හැකි ඌව -වෙල්ලස්ස අතීතයේ රුහුණු රාජ්‍යයට අයත්ව තිබූ ප්‍රදේශයකි.
හග්ගල කපොල්ලෙන් හමන සුළඟින් හූ හඬ පැතිරෙන හෙයින් හූවඝ නමින් හැඳින්වූ ප්‍රදේශය පසු කලෙක ඌව බවට පත්වූ බවට ඵෙතිහාසික මූලාශ්‍රයන් සාක්ෂි දරයි.
"උසින් සය දහස් ගණනට ද බෝ             වේ
එමෙන් පහත රටටත් සුපිහිටියා               වේ
තදින් එන සුළං හඬ සළකා                   හූවේ
පෙදෙන් නම සැදුණ බව පැවසෙයි       ඌවේ"
                                                                                    (ජන කවියකි.)
ඓතිහාසික මූලාශ්‍රවල විසිදහස් රට නමින් හැඳින්වූ ඌව පළාත ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් වූ භූමි ප්‍රදේශයකි.
අනුරාධපුර යුගයටත් වඩා පැරණි යටගියාවක් හා විජයාගමනයටත් පෙර ආදි පුරාවෘත්තයන්ද ඌව ප්‍රදේශය සතුව පවතී.
නැගෙනහිර දෙසින් මැණික් නදියද උතුරු දෙසින් පුහුල්ගල කඳුවැටියද බටහිරින් යුදඟනා වැව හා කෙත් යායද දකුණු දෙසින් දුටු ගැමුණු රජුගේ යුධ සේනාවට බත සැපයූ ප්‍රදේශය යන අරුතින් නම් ලද "බුත්හල"හෙවත් බුත්තල නගරයටද මැදිවූ රමණීය භූමි භාගයක ඓතිහාසික යුදඟනාව පිහිටා ඇත.

ක්‍රි.ව. 2 සියවසේදී ඌව -වෙල්ලස්ස යුදඟනාව චූලංගනී පිටියේදී දුටුගැමුණු රජු හා ඔහුගේ සොයුරු සද්ධාතිස්ස කුමරු අතර යුද්ධයක් සිදුවූ බව ප්‍රකට ඓතිහාසික ප්‍රවෘත්තියකි.

ඒ හා සම්බන්ධ රසවත් කතා පුවතක්ද ජනප්‍රවාදයේ මෙන්ම ඉතිහාසගත මූලාශ්‍ර වලද සඳහන්ව තිබේ.
හැට හතර වන වියේදී අභාවයට පත් කාවන්තිස්ස මහරජුගේ ඇවෑමෙන් රාජ්‍යත්වය හිමි විය යුතු වූ කාවන්තිස්ස දෙටුපුත් දුටුගැමුණු , එළාර සමඟ යුධ වැදීමට අකමැති වූ පිය රජුට කාන්තා වස්ත්‍රාභරණ යවා කොත්මලයට පළාගොස් අප්‍රකටව ජීවත් වූ අතර පිය රජුගේ අභාවය පිළිබඳ පුවත සැලවූ වහාම දිඟාමඩුල්ලේ සිට මාගමට පැම්ණෙන ගැමුණු කුමරුගේ බාල සොයුරු තිස්ස සිහසුන පැහැර ගැනීමේ අරමුණෙන් ස්වකීය මව්බිසව වන විහාර මහා දේවිය හා කඩොල් ඇතුන්ද රැගෙන දිඟාමඩුල්ලට පලා ගියේය.
පිය රජුගේ අභාවය සැළව පෙරලා මාගමට පැමිණි ගැමුණු කුමරු තමාට අවනතව සිටි ඇමතිවරුන්ගේ සහ වැසියන්ගේ ආශිර්වාදයෙන් රුහුණේ රජු ලෙස කිරුළු දරන අතර , සිය මව් බිසව හා කඩොලැතු වහාම මාගමට එවන ලෙස තිස්ස කුමරුට හසුන් යැවූ නමුත් ඊට ප්‍රතිචාර නොදැක්වීම නිසා කෝපයට පත්වූ දුටුගැමුණු රජු සේනාවක් රැගෙන යුධ පිණිස දිගාමඬුල්ලට පැමිණෙන අතරමග "චූලංගනී පිට්ඨි" හෙවත් චූලංගනී පිටියේදී යුද්ධයක් ඇති වූ බවත් ඉන් පරාජයට පත්වූ තිස්ස කුමරු යුදඟනා පිටිය අසල පිහිටි දෙමටමල් විහාරයේ රැකවරණ මැද දිවි බේරා ගත් බවත් මහාවංසය සඳහන් කරයි.



සිය සොයුරා සමඟ යුධ වැදීමෙන් සිදුවූ සිත් තැවුල මැකීමටත්, එම සටන සදා සිහිවීම පිණිසත් චූලංගනී පිටිය අසළ සටන සිදුවූ අංගනයේ දුටුගැමුණු රජු විසින් "යුදඟනා සෑය" නමින් සුවිසල් දාගැබක් ඉදි කළ බව ප්‍රකට ඉතිහාසගත ප්‍රවෘත්තියයි.
දුටුගැමුණු රජු හදිසියේ රෝගාතුර වූ නිසා යුදඟනා චෛත්‍යයේ ඉදිකිරීම් නිම කිරීමට නොහැකි වූ බව පැවසේ.



මේ අනුව ඓතිහාසික යුදඟනා චෛත්‍යය සම්පූර්ණ නොකළ චෛත්‍යයක් හෙවත් කොටවෙහෙරක් ලෙස තහවුරු කර ඇත.
පොළොන්නරුවේ රජ කළ මහා පරාක්‍රමභාහු රජු විසින් පැරණි දාගැබ වටකොට තවත් දාගැබක් ඉදිකළ බවට ඓතිහාසික මෙන්ම පුරාවිද්‍යාත්මක සාධක රැසක්ද හමුවී ඇත.
මේ අනුව යුදඟනා චෛත්‍යය යුග දෙකක වාස්තු නිර්මාණයක් වන අතර, පැරණි චෛත්‍යය වඩාත් විශාල කරමින් ඒ වටා තවත් සංරක්ෂිත චෛත්‍යයක් නිර්මාණය කොට තිබේ.
දැනට දක්නට ඇති ආකාරය අනුව චෛත්‍යයේ උස මීටර් 26 ක් වන අතර වටප්‍රමාණය වට අඩි 1038 ක් පමණ වේ.




යුදඟනා චෛත්‍යයේ හතරැස් කොටුව සුවිශේෂී නිර්මාණයකි.
ගඩොල් තාක්ෂණය යොදා ගනිමින් ගඩොලක් මත ගඩොලක් සිටින සේ පිරමීඩ ආකාරයට මෙම නිර්මාණය ඉදිකොට ඇත.
යුදඟනා භූමියේ සිදුකොට ඇති පුරාවිද්‍යා කැණීම් අනුව වටිනා පුරාවස්තු රාශියක් සොයාගෙන ඇති අතර කැණීම් හා තහවුරු කිරීම් තවදුරටත් සිදු කෙරෙමින් පවතී.
මෙම භූමියෙන් සොයාගත් පුරාවස්තු අතර ලෝහ සෙම්බුවක්, වළංකටු රාශියක් හා බුදු පිළිම තුනක් සමග දේවරූපයක් තැන්පත් කොට තිබූ ලෝහ කරඬුවක්ද ඇති අතර එහි ඇති දේව ප්‍රතිමාව නාථ දේව ප්‍රතිමාවක් ලෙස හඳුනාගෙන තිබේ.



යුදඟනා දාගැබ අසළ මැටි බිත්තිවලින් යුතු පුරාණ පිළිම ගෙයක් දක්නට ඇති අතර මහනුවර යුගයට අයත් චිත්‍ර හා මූර්ති වලින් අලංකාරවත් කොට ඇත.

බිත්තියේ ඇතුළත මෙන්ම පිටතද, ලී සිවිලිමේද මහනුවර යුගයට අයත් පැරණි චිත්‍ර දක්නට ලැබෙන අතර නිරන්තර අව්වැසි ආදී ස්වභාවික ව්‍යසනයන්ට අසුවීමෙන් පිටත බිත්ති වල ඇති චිත්‍ර මැකී ගොස් ඇත.


























බුත්තල ඓතිහාසික යුදඟනා විහාරයට වර්ෂ 1716 දී රාජාධිරාජසිංහ රජු කළ පූජාවක් ස්ථිර කරමින් සිංහලේ අවසන් රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් පුදන ලද ඉඩම් හා කුඹුරු පිළිබඳ විස්තර ඇතුළත් "යුදඟනා වෙහෙර සන්නස" මගින් යුදඟනා වෙහෙරට අක්කර 1739 ක ගම්වරයක් පූජා කොට ඇත.
පොළොන්නරු යුගයදී ලක්දිව එක්සේසත් කළ අවසාන පාලකයා වූ කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල රජු විසින් පිහිටවන ලද අඩි 6 ක් පමණ උසවූ "ගාවුත කණු" හෙවත් ගල්ටැම් ලිපියක්ද යුදඟනා විහාරය අසල දක්නට ලැබේ.










ඌවේ අතිශය වැදගත් ඓතිහාසික මූලාශ්‍රයක් ලෙස සැළකෙන මෙම යුදඟනා ටැම් ලිපිය මගින් මෙම ප්‍රදේශයට හා ජනයාට නිශ්ශංකමල්ල රජු විසින් කළ සේවාවන් සටහන් කොට තබා ඇත.
මෙම ටැම් ලිපිය වර්තමානය දක්වාම ආරක්ෂිතව යුදඟනාව විහාර භූමියේ දක්නට ලැබේ.
මෙවන් වූ සුවිශේෂී ඓතිහාසික වාස්තු විද්‍යාත්මක මෙන්ම පුරා විද්‍යාත්මක වටිනාකම් රාශියකට උරුමකම් කියනු ලබන යුදඟනා වෙහෙර කාලාන්තරයක් තිස්සේ නටඹුන්ව පැවැති අතර 1979 දී හා 1992 දී දෙවරක් ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹුණද වඩාත් පුළුල් ලෙස එකී කටයුතු ඇරඹුණේ 2002 වසරේදී "යුදඟනා සංරක්ෂණ ව්‍යාපෘතිය" හඳුන්වා දීමත් සමගය.



2009 වසරේ සිට යුදඟනාව පූජා භූමියක් ලෙස රජය මගින් ප්‍රකාශයට පත් කළ අතර බුද්ධ වර්ෂ 2557 (ක්‍රි.ව. 2013) රාජ්‍ය වෙසක් උත්සවය පැවැත් වූයේද මෙම යුදඟනා පූජා භූමියේදීය.
අතීත ශ්‍රී විභූතිමත් යුගයක ඉතිහාසගත වංශකතාවකට උරුමකම් කියන යුදඟනා වෙහෙර ඉමහත් ගෞරවාදරයට පාත්‍රව බැබලුණ අතීත ප්‍රෞඩත්වය ඉස්මතු කරන පුණ්‍ය භූමියකි.
දේශීය විදේශීය ආක්‍රමණ මෙන්ම ස්වභාවික ආපදා මගින් සිංහල සංස්කෘතියට, ගෘහ නිර්මාණශිල්පයට මෙන්ම ශිෂ්ටාචාරයට සිදුවූ මහා විනාශයන් මැද වුවත් නොසැලෙමින් යුදඟනා මහා සෑය , මහා රණශූරයන් දැයට දායාද කළ ඌව වෙල්ලස්ස රණබිම මත අදත් අභීතව නැගී සිටී.




ඌව රණ බිම් අතර    -  ඉතිහාසයේ විසිර
රාව දෙන රණ ගැයුම් -  සාදු සිතිවිලි අතර
ජාතියේ මහ නිදන්  රැක සිටින එක පැහැර
සාධු නමදිම් බැතින්   යුදඟනා මහ වෙහෙර
(
මෙම කවිය රත්න ශ්‍රී විජේසිංහගේ පද රචනයකින් උපුටා ගන්නා ලද්දකි.)