Sunday, April 17, 2016

ගැමුණු - තිස්ස පිළිමලුන් වී යුධ විකුම් පෑ බිම එකලු කළ යුදඟනා මහ වෙහෙර..............

රුහුණු, මායා, පිහිටි යන ත්‍රී සිංහලයම එක්සේසත් කොට දිග් විජය නැංවූ මහා නරපතියාණන් වූ දුටුගැමුණු රජුගේ පටන් සිංහල රාජධානියේ අවසානය දක්වාම ජාතියට රණශූරයන් මෙන්ම විමුක්තිකාමීන් රැසක් දායාද කළ පුණ්‍යභූමියක් ලෙස හඳුන්වා දිය හැකි ඌව -වෙල්ලස්ස අතීතයේ රුහුණු රාජ්‍යයට අයත්ව තිබූ ප්‍රදේශයකි.
හග්ගල කපොල්ලෙන් හමන සුළඟින් හූ හඬ පැතිරෙන හෙයින් හූවඝ නමින් හැඳින්වූ ප්‍රදේශය පසු කලෙක ඌව බවට පත්වූ බවට ඵෙතිහාසික මූලාශ්‍රයන් සාක්ෂි දරයි.
"උසින් සය දහස් ගණනට ද බෝ             වේ
එමෙන් පහත රටටත් සුපිහිටියා               වේ
තදින් එන සුළං හඬ සළකා                   හූවේ
පෙදෙන් නම සැදුණ බව පැවසෙයි       ඌවේ"
                                                                                    (ජන කවියකි.)
ඓතිහාසික මූලාශ්‍රවල විසිදහස් රට නමින් හැඳින්වූ ඌව පළාත ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් වූ භූමි ප්‍රදේශයකි.
අනුරාධපුර යුගයටත් වඩා පැරණි යටගියාවක් හා විජයාගමනයටත් පෙර ආදි පුරාවෘත්තයන්ද ඌව ප්‍රදේශය සතුව පවතී.
නැගෙනහිර දෙසින් මැණික් නදියද උතුරු දෙසින් පුහුල්ගල කඳුවැටියද බටහිරින් යුදඟනා වැව හා කෙත් යායද දකුණු දෙසින් දුටු ගැමුණු රජුගේ යුධ සේනාවට බත සැපයූ ප්‍රදේශය යන අරුතින් නම් ලද "බුත්හල"හෙවත් බුත්තල නගරයටද මැදිවූ රමණීය භූමි භාගයක ඓතිහාසික යුදඟනාව පිහිටා ඇත.

ක්‍රි.ව. 2 සියවසේදී ඌව -වෙල්ලස්ස යුදඟනාව චූලංගනී පිටියේදී දුටුගැමුණු රජු හා ඔහුගේ සොයුරු සද්ධාතිස්ස කුමරු අතර යුද්ධයක් සිදුවූ බව ප්‍රකට ඓතිහාසික ප්‍රවෘත්තියකි.

ඒ හා සම්බන්ධ රසවත් කතා පුවතක්ද ජනප්‍රවාදයේ මෙන්ම ඉතිහාසගත මූලාශ්‍ර වලද සඳහන්ව තිබේ.
හැට හතර වන වියේදී අභාවයට පත් කාවන්තිස්ස මහරජුගේ ඇවෑමෙන් රාජ්‍යත්වය හිමි විය යුතු වූ කාවන්තිස්ස දෙටුපුත් දුටුගැමුණු , එළාර සමඟ යුධ වැදීමට අකමැති වූ පිය රජුට කාන්තා වස්ත්‍රාභරණ යවා කොත්මලයට පළාගොස් අප්‍රකටව ජීවත් වූ අතර පිය රජුගේ අභාවය පිළිබඳ පුවත සැලවූ වහාම දිඟාමඩුල්ලේ සිට මාගමට පැම්ණෙන ගැමුණු කුමරුගේ බාල සොයුරු තිස්ස සිහසුන පැහැර ගැනීමේ අරමුණෙන් ස්වකීය මව්බිසව වන විහාර මහා දේවිය හා කඩොල් ඇතුන්ද රැගෙන දිඟාමඩුල්ලට පලා ගියේය.
පිය රජුගේ අභාවය සැළව පෙරලා මාගමට පැමිණි ගැමුණු කුමරු තමාට අවනතව සිටි ඇමතිවරුන්ගේ සහ වැසියන්ගේ ආශිර්වාදයෙන් රුහුණේ රජු ලෙස කිරුළු දරන අතර , සිය මව් බිසව හා කඩොලැතු වහාම මාගමට එවන ලෙස තිස්ස කුමරුට හසුන් යැවූ නමුත් ඊට ප්‍රතිචාර නොදැක්වීම නිසා කෝපයට පත්වූ දුටුගැමුණු රජු සේනාවක් රැගෙන යුධ පිණිස දිගාමඬුල්ලට පැමිණෙන අතරමග "චූලංගනී පිට්ඨි" හෙවත් චූලංගනී පිටියේදී යුද්ධයක් ඇති වූ බවත් ඉන් පරාජයට පත්වූ තිස්ස කුමරු යුදඟනා පිටිය අසල පිහිටි දෙමටමල් විහාරයේ රැකවරණ මැද දිවි බේරා ගත් බවත් මහාවංසය සඳහන් කරයි.



සිය සොයුරා සමඟ යුධ වැදීමෙන් සිදුවූ සිත් තැවුල මැකීමටත්, එම සටන සදා සිහිවීම පිණිසත් චූලංගනී පිටිය අසළ සටන සිදුවූ අංගනයේ දුටුගැමුණු රජු විසින් "යුදඟනා සෑය" නමින් සුවිසල් දාගැබක් ඉදි කළ බව ප්‍රකට ඉතිහාසගත ප්‍රවෘත්තියයි.
දුටුගැමුණු රජු හදිසියේ රෝගාතුර වූ නිසා යුදඟනා චෛත්‍යයේ ඉදිකිරීම් නිම කිරීමට නොහැකි වූ බව පැවසේ.



මේ අනුව ඓතිහාසික යුදඟනා චෛත්‍යය සම්පූර්ණ නොකළ චෛත්‍යයක් හෙවත් කොටවෙහෙරක් ලෙස තහවුරු කර ඇත.
පොළොන්නරුවේ රජ කළ මහා පරාක්‍රමභාහු රජු විසින් පැරණි දාගැබ වටකොට තවත් දාගැබක් ඉදිකළ බවට ඓතිහාසික මෙන්ම පුරාවිද්‍යාත්මක සාධක රැසක්ද හමුවී ඇත.
මේ අනුව යුදඟනා චෛත්‍යය යුග දෙකක වාස්තු නිර්මාණයක් වන අතර, පැරණි චෛත්‍යය වඩාත් විශාල කරමින් ඒ වටා තවත් සංරක්ෂිත චෛත්‍යයක් නිර්මාණය කොට තිබේ.
දැනට දක්නට ඇති ආකාරය අනුව චෛත්‍යයේ උස මීටර් 26 ක් වන අතර වටප්‍රමාණය වට අඩි 1038 ක් පමණ වේ.




යුදඟනා චෛත්‍යයේ හතරැස් කොටුව සුවිශේෂී නිර්මාණයකි.
ගඩොල් තාක්ෂණය යොදා ගනිමින් ගඩොලක් මත ගඩොලක් සිටින සේ පිරමීඩ ආකාරයට මෙම නිර්මාණය ඉදිකොට ඇත.
යුදඟනා භූමියේ සිදුකොට ඇති පුරාවිද්‍යා කැණීම් අනුව වටිනා පුරාවස්තු රාශියක් සොයාගෙන ඇති අතර කැණීම් හා තහවුරු කිරීම් තවදුරටත් සිදු කෙරෙමින් පවතී.
මෙම භූමියෙන් සොයාගත් පුරාවස්තු අතර ලෝහ සෙම්බුවක්, වළංකටු රාශියක් හා බුදු පිළිම තුනක් සමග දේවරූපයක් තැන්පත් කොට තිබූ ලෝහ කරඬුවක්ද ඇති අතර එහි ඇති දේව ප්‍රතිමාව නාථ දේව ප්‍රතිමාවක් ලෙස හඳුනාගෙන තිබේ.



යුදඟනා දාගැබ අසළ මැටි බිත්තිවලින් යුතු පුරාණ පිළිම ගෙයක් දක්නට ඇති අතර මහනුවර යුගයට අයත් චිත්‍ර හා මූර්ති වලින් අලංකාරවත් කොට ඇත.

බිත්තියේ ඇතුළත මෙන්ම පිටතද, ලී සිවිලිමේද මහනුවර යුගයට අයත් පැරණි චිත්‍ර දක්නට ලැබෙන අතර නිරන්තර අව්වැසි ආදී ස්වභාවික ව්‍යසනයන්ට අසුවීමෙන් පිටත බිත්ති වල ඇති චිත්‍ර මැකී ගොස් ඇත.


























බුත්තල ඓතිහාසික යුදඟනා විහාරයට වර්ෂ 1716 දී රාජාධිරාජසිංහ රජු කළ පූජාවක් ස්ථිර කරමින් සිංහලේ අවසන් රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් පුදන ලද ඉඩම් හා කුඹුරු පිළිබඳ විස්තර ඇතුළත් "යුදඟනා වෙහෙර සන්නස" මගින් යුදඟනා වෙහෙරට අක්කර 1739 ක ගම්වරයක් පූජා කොට ඇත.
පොළොන්නරු යුගයදී ලක්දිව එක්සේසත් කළ අවසාන පාලකයා වූ කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල රජු විසින් පිහිටවන ලද අඩි 6 ක් පමණ උසවූ "ගාවුත කණු" හෙවත් ගල්ටැම් ලිපියක්ද යුදඟනා විහාරය අසල දක්නට ලැබේ.










ඌවේ අතිශය වැදගත් ඓතිහාසික මූලාශ්‍රයක් ලෙස සැළකෙන මෙම යුදඟනා ටැම් ලිපිය මගින් මෙම ප්‍රදේශයට හා ජනයාට නිශ්ශංකමල්ල රජු විසින් කළ සේවාවන් සටහන් කොට තබා ඇත.
මෙම ටැම් ලිපිය වර්තමානය දක්වාම ආරක්ෂිතව යුදඟනාව විහාර භූමියේ දක්නට ලැබේ.
මෙවන් වූ සුවිශේෂී ඓතිහාසික වාස්තු විද්‍යාත්මක මෙන්ම පුරා විද්‍යාත්මක වටිනාකම් රාශියකට උරුමකම් කියනු ලබන යුදඟනා වෙහෙර කාලාන්තරයක් තිස්සේ නටඹුන්ව පැවැති අතර 1979 දී හා 1992 දී දෙවරක් ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹුණද වඩාත් පුළුල් ලෙස එකී කටයුතු ඇරඹුණේ 2002 වසරේදී "යුදඟනා සංරක්ෂණ ව්‍යාපෘතිය" හඳුන්වා දීමත් සමගය.



2009 වසරේ සිට යුදඟනාව පූජා භූමියක් ලෙස රජය මගින් ප්‍රකාශයට පත් කළ අතර බුද්ධ වර්ෂ 2557 (ක්‍රි.ව. 2013) රාජ්‍ය වෙසක් උත්සවය පැවැත් වූයේද මෙම යුදඟනා පූජා භූමියේදීය.
අතීත ශ්‍රී විභූතිමත් යුගයක ඉතිහාසගත වංශකතාවකට උරුමකම් කියන යුදඟනා වෙහෙර ඉමහත් ගෞරවාදරයට පාත්‍රව බැබලුණ අතීත ප්‍රෞඩත්වය ඉස්මතු කරන පුණ්‍ය භූමියකි.
දේශීය විදේශීය ආක්‍රමණ මෙන්ම ස්වභාවික ආපදා මගින් සිංහල සංස්කෘතියට, ගෘහ නිර්මාණශිල්පයට මෙන්ම ශිෂ්ටාචාරයට සිදුවූ මහා විනාශයන් මැද වුවත් නොසැලෙමින් යුදඟනා මහා සෑය , මහා රණශූරයන් දැයට දායාද කළ ඌව වෙල්ලස්ස රණබිම මත අදත් අභීතව නැගී සිටී.




ඌව රණ බිම් අතර    -  ඉතිහාසයේ විසිර
රාව දෙන රණ ගැයුම් -  සාදු සිතිවිලි අතර
ජාතියේ මහ නිදන්  රැක සිටින එක පැහැර
සාධු නමදිම් බැතින්   යුදඟනා මහ වෙහෙර
(
මෙම කවිය රත්න ශ්‍රී විජේසිංහගේ පද රචනයකින් උපුටා ගන්නා ලද්දකි.)




10 comments:

  1. අගනා විස්තරක්............... ජයවේවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කුරුට්‍ටෝ....ජයමවේවා.

      Delete
  2. අම්මට සිරි මේ අපේ පළාත නේ එල එල

    ReplyDelete
    Replies
    1. ඇත්තද....කලිං දැනන් උන්න නං ඔය ඝාතෙ ආ වෙලාවෙ කියන්න තිබ්බ.

      Delete
  3. අපි ගිය අවුරුද්දෙත් ගියා ඕක බලන්න. හොඳ විස්තරයක්.

    ReplyDelete
    Replies
    1. මේ විස්තර කළ හැම දෙයක්ම දැක බලාගන්න ඇති නේද? මට මග හැරුණු විස්තරත් තියෙනවද?

      Delete
  4. යුදඟනාව කියන නම අහල තිබුණත් දැක ගත්තෙ මෑතකදි. ඇත්තෙන්ම එය වැඩි දෙනෙකුගේ ඇස නොගැටුණ තැනක්.
    මෙවන් ඓතිහාසික වටිනාකමක් තියෙන ස්ථානයක් සොයා ගොස් ඒ ගැන සංචාරක සටහනකින් එහා දැනුම් සම්භාරයක් වෙහෙසක් නොමැතිව කියවන්න හැකි වන ලෙස මෙසේ සංක්ෂිප්ත කිරීම ප්‍රයෝජනවත්.

    ReplyDelete
    Replies
    1. මේ වගේ අප්‍රකට තැන් තව දන්නව නං දැනුම්වත් කරන්න. එවැනි තැන් සොයා ගොස් සැරිසරට ලියන්න කැමැත්තෙන් ඉන්නවා.

      Delete
  5. අපේ රටේ මෙහෙම විශේෂ තැන් ගැන සංචාරක අමාත්‍යාංශයෙන් වත් පොත් පිංචක් ගහන්නෙ නැහැනෙ.
    "දසත සැරිසර" වගේ අයගෙන් කොයි තරම් උදව්වක් ගන්න පුළුවනිද..ඕනෙ කමක් ඇත්නම්.

    ReplyDelete
  6. මම මේ මෙහාට අවමද කොහෙද. ආයෙත් එන්න පහසුවෙන්න මගේ බ්ලොග් රෝලට දාගත්තා.

    යුදඟනාවට මම එකම එක වරක් ගිහින් තියනවා යුද්ද කාලේ. දැන් නිදහසේ යන්න ඕනේ ගෙදර අයත් එක්ක.

    බොහොම හොද විස්තරයක් සහ ඡායාරූප පෙළක්.

    ReplyDelete