Monday, August 22, 2016

ධවල අස්රුව මැදිකොට දිදුලන මහා දෙවොල - තනිවැල්ලේ දේවාලය


ක් ඉතිහාසය තුළ රජුන් දෙවියන් වූ අවස්ථාවන් කිහිපයක් ගැන විවිධ  මූලාශ්‍රයන් සාක්ෂි  දරයි.

රජෙකු මියගිය පසු දේවත්වයට පත්වනුයේ ඔහු  විසින්  තම පාලිතයන්ගේ  ජීවිතය සුඛිතමුදිත  කිරීම  සදහා කළ උදාර වාරි හා කෘෂිකාර්මික  සංවර්ධනයන් නිසා පමණක් නොව, එම නරපතියන් සතුව තිබූ මානව දයාවන්තභාවයත් නිසාය.

රාජ්‍යත්වයෙන් පසු දේවත්වයට පත් එවන් වූ  ප්‍රාදේශීය නරවරයෙකු වන්දනා කිරීම  සඳහා  ඉදිකළ පුත්තලම්  දිස්ත්‍රික්කයේ  පිහිටි සුප්‍රසිද්ධ  දෙවොලකිතනිවැල්ලේ දේවාලය.


කෝට්ටේ රාජධානියේ  රජ කළ  VIII පරාක්‍රමබාහු  හෙවත් වීර පරාක්‍රමබාහු  රජුගේ  දෙවෙනි බිසවකගේ පුත්‍රයෙකු වූ තනියවල්ලභ කුමරු  කෝට්ටේ  රාජධානියේ  පාලනයට අතිශයින්ම සහය වූ ප්‍රබල යුවරජෙකු බව පූජාවලිය සඳහන්  කරයි.

මේ යුගය වනවිට කෝට්ටේ  රාජධානියට ආදායම්  ලැබෙන ප්‍රධාන  බල ප්‍රදේශයක් ලෙස සලාවත මාදම්පා ප්‍රදේශය  සලකන ලද බව පෙනේ.
ඇත්දළ, මුතු සහ සහල් සඳහා  වෙළෙඳ  මධ්‍යස්ථානයක්  ලෙසද මෙම ප්‍රදේශය  සලකන ලදී. ඒ අනුව  බලන කළ මාදම්පා  ප්‍රදේශය  ප්‍රබල ප්‍රාදේශීය  රාජ්‍යක් ලෙස පැවතුණ බව පෙනේ.

ඉංදියාවට බොහෝ  ආසන්න වීම නිසා දකුණු  ඉංදීය ආක්‍රමණකාරී කණ්ඩායම්  මෙන්ම කොල්ලකරුවන්ද නිරන්තරයෙන්  මේ ප්‍රදේශවලට අවතීර්ණ  විය.
මේ කරුණු  හේතු කොටගෙන සලාවත මාදම්පා ප්‍රදේශයට ප්‍රබල පාලකයෙකුගේ මෙහෙයවීම අත්‍යවශ්‍ය  වූ බව සූර වීර නරපතියෙකු වූ තනියවල්ලභ  රජුන්ට මේ ප්‍රදේශයේ පාලනය බාර දීමෙන්ම පෙනී යයි.


රාජාවලියට අනුව තනියවල්ලභ  යනු අතිශූර  රණශූරයෙකි.

තනියවල්ලභ  රජු අතිශයින්ම  කරුණාවන්ත  ඉතා කාර්යශූර පුද්ගලයෙකු බව මූලාශ්‍ර වල සදහන්  වේ.

නිරන්තරයෙන්ම  සුදු ජටාවක් බැඳ සුදු අශ්වයෙකු පිට නැඟී  මාදම්පා  ප්‍රදේශයේ කෙත්වතු හරහා එතුමා  විදුලි  වේගයෙන්  ගමන්  කරුණු  ලැබූ  බව  පැරණි  ගම්වාසීන්ගේ  මතයයි .

ප්‍රදේශයේ  කෘෂිකර්මාන්තයට  අනගි සේවයක් කළ තනියවල්ලභ  රජු කුඩා වැව් කිහිපයක්ම  තනවන ලද බව මූලාශ්‍ර වල සඳහන්  වේ.

අදටත් මෙම ප්‍රදේශයේ  ජනයා  කෘෂිකර්මාන්තයේ  යෙදෙන්නේ  මෙම වැව්  ජලය ප්‍රයෝජනයට  ගනිමිනි .


තනියවල්ලභ  රජුගේ මරණය සිදුවූ ආකාරය පිළිබඳ  විවිධ  මතයන් ඇතත්  මෙම ප්‍රදේශයේ  ජනී ජනයා විශ්වාස කරනු ලබන අනුවේදනීය  ජනප්‍රවාදයක්ද වේ.

මුක්කර්වරු සමඟ අවසාන මහා සටනට යාමට ප්‍රථම  සිය රාජ්‍ය කටයුතු  තම අගමැතිට පැවරූ රජු සටනට පිටත් විය.

තනියවල්ලභ  රජුගේ  බිසව අතිශයින්ම  සුරූපී  කාන්තාවකි.
දුටුවන් වශීකරවන  රූපශ්‍රීයෙන් යුතු ඇයව ජනප්‍රවාදයේ වර්ණනා  කරන්නේ මෙසේය.

පසිදු තනියවල්ලභ  බිසවගෙ රුසි                       රූ
මුහුදු  තරණ කරනට හැකිවෙයි කවු                    රූ
සුමුදු  ඉතිරි ගුණයෙන් පිරිපුන් මහ                      රූ
පුරුදු  කවි ඇසට ඇස පෙනෙනුයෙ මෙ අයු         රූ

බිසව පිළිබඳව කලෙක පටන් සිත් ඇතිව සිටි  මහ ඇමති  කල්යල් බලා අයුතු  යෝජනාවක්  කළ අතර එය නොපිළිගත් බිසව රජු ආපසු පැමිණි  පසු දඬුවම්  ලබා දේයැයි බිය වූ ඇමතිවරයා කුමන්ත්‍රණයක් කර රජතුමා  මියගියා යැයි දේවියට දැනගැනීමට  සැලැස්වූ අතර මෙය දැනගත්  බිසව අසල වූ  වැවට පැන දිවි තොර කරගත් බවත් සටන ජයගෙන ආපසු  පැමිණි  රජු මින් කම්පාවට  පත්ව අසල වූ ගං ඉවුරක සිය කඩුව සිටුවා එය උඩට පැන දිවිනසා ගත් බවත් පැවසේ.
රජු දිවිනසා  ගත් තැන වූ ඔයට මිනිසුන් අදද ව්‍යවහාර කරණුයේ කඩුහිටි ඔය නමිනි.

තනියවල්ලභ  රජුගේ මරණය  සම්බන්ධ  අනෙක් ජනප්‍රවාදය වනුයේ තනියවල්ලභ  රජුගේ දියණියගේ  පුත්‍රයා වූ "කෝට්ටේ ව්‍යාඝ්‍රයා" යනුවෙන් විරුදාවලිය  ලද සුප්‍රසිද්ධ  රණශූරයෙකු වූ වීදිය බණ්ඩාර  අතින් තනියවල්ලභ  රජු මියගිය  බව කියවෙන කතා පුවතය.

එවන් වූ තවත් කතා පුවතකින් කියවනුයේ රජු පෘතුගීසින් අතට පත්ව මියගිය බවය.

ජනකතා, ජනශ්‍රැති, ජනප්‍රවාද මෙන්ම ඉතිහාසඥ මතයන් කෙසේ වුවද  තනියවල්ලභ  රජුගේ  මරණින්  පසු ප්‍රදේශයේ  ජනයා ඔහු දේවත්වයෙන්  පිදූ බවට සුප්‍රසිද්ධ  මාදම්පා  තනිවැල්ල්‍ෙ  දේවාලය  සාක්ෂි  දරයි.

වත්මන් තනිවැල්ල්‍ෙ  දෙවොල කවදා  කවුරුත්  විසින්  ඉදිකරන  ලදදැයි තොරතුරු  සඳහන්  නොවුණද මෙම ස්ථානයෙහි පුරාණයේ පැවති මහා නුග වෘක්ෂයට, ප්‍රදේශය  හරහා ගියවුන්  නුග අත්තක් කඩා තනියවල්ලභ  දෙවියන්  නමට එල්ලූ බව පැවසේ.


පසුකලෙක  මෙම  ස්ථානයේ තනියවල්ලභ  දෙවියන් නමින්  දේවාලයක්  ඉදිකොට  ඇති  අතර  වර්තමානයේ  දර්ශනය  වන ආකාරයට ගොඩනගා ඇත්තේ 1845- 1850 කාලයේදීය.


මෙම දෙවොලහි ඇති  සුවිශේෂීම නිර්මාණය  වන්නේ  මෙහි  ඉදිකොට  ඇති  සුදු  අශ්වරුවයි. මෙය දේවාලය දෙසට දිවයන ආකාරය නිරූපනය  වන සේ නිම කොට ඇති  අතර තනියවල්ලභ  රජුගේ  සුදු  අශ්වයා මින්  සංකේතවත්  වන බව පෙනේ.


මෙම අශ්වරුව ඉදිකිරීම සම්බන්ධ  රසවත් කතා පුවතක්ද වේ.

දේවාලය  ඉදිරිපිටින්   අශ්වයන් දෙදෙනෙකු  සහිත සිය කරත්තයට නැගී මහා අහංකාරකමින් ගමන් කළ ධනවත්  හෙට්ටි මිනිසෙකු දේවාලය පසුකරන විටම අසුන් කරත්තයද සමඟ  අසල වූ  තිනිපිටි වැවට පැන්න බවත් ඉන් ඔහු තුවාල ලැබූ බවත් මහත් වෑයමෙන්  තුවාල සුවකර ගත් ඔහු නැවතත් ඒ අසලින්  ගමන් කරන විට පෙරමෙන්ම අසුන්  වැවට  පැන්න  බවත් එවර ඔහුගේ  දිවි අපහසුවෙන්  ගැලවුණ  බවත් තමා සුවවූ පසු දේවාලයට අශ්ව රුවක් ඔප්පු  කරන බවට භාරවූ බවත් සුවවී පැමිණි  හෙට්ටි  මිනිසා ලී වලින් අශ්වරුවක් සාදා දේවාලයට  පූජා  කළ බවත්  පැවසේ.

පසු  කලෙක  එම ලී අශ්වරුව  මැදිකොට වර්තමානයේ  පෙනෙන  අශ්වරුව  ගොඩනගා  ඇති බවත්  පැවසේ .

මේ කතාන්දර  කෙසේ වුවද විරුවෙකු  වෙනුවෙන්  ඔහු  සිහිපත්  කිරීමට  කාලයක්  තිස්සේ  ගොඩනැගුණු  පූජනීය  ස්ථානයක්  ලෙස තනිවැල්ලේ  දෙවොල සැලකිය  හැකිය.


මෙම දේවාලය  සම්බන්ධ අනෙක්  විශේෂිතම  කරුණ වන්නේ මෙම දෙවොලෙහි තේවා කටයුතු සිදුකිරීම සඳහා නිශ්චිත පරම්පරාවක් නම්කොට නොමැති වීම වන අතර, තේවා කටයුතු  සිදුකරනු  ලබනුයේ වැටුප් ලබන්නන් විසින් වීමය. වර්තමානයේ  තනිවැල්ලේ  දේවාලය භාරකාර  මණ්ඩලයක් මගින්  පාලනය  කරණු  ලැබේ .


සිරිලක නන්දෙසින්   බැතිමත්හු  දහස්ගණනින් ආශිර්වාද  ලබාගැනීමට  දිනපතා මෙහි පැමිණෙති .

අස්වනු කපාගන්නා සමයේ කුඹුරු  උඩින් රාත්‍රි  යාමයෙහි සුදු  අශ්වයෙකු  පිට නැඟී  තනියවල්ලභ  රජතුමා  ගමන්කරන්නේ යැයි ජනතාව විශ්වාස  කරන්නේ ඒ නිසා විය හැකිය.


සුන්දර කෙත්වතුයායක් මැද පරිසරය පිස එන සිහින් මද නල රැඳි රමණීය  බිමක සුදු අශ්වරුව  මැදිකොට සුවහසක් ජනී ජනයාගේ දුක, සතුට සමසිතින් දරාගෙන තනිවැල්ලේ දෙවොල ධවල පැහැයෙන් බබලමින් තිනිපිටි වැව අසබඩ  නැගී සිටී.







14 comments:

  1. කීප සැරයක් මෙ මේ දේවාලෙට ගිහින් තියෙනවා.... අස්සයා ගේ ප්‍රතිමාව out of proportion නේද?

    ReplyDelete
  2. ඉතිහාසය, සංස්කෘතිය, හා ජනශ්‍රැති පිළිබඳව කරුණු සොයන කෙනෙකුට මේ ලිපිය ඉතා වැදගත්.

    ReplyDelete
    Replies
    1. දැනුමක් දෙන එකනෙ මේ බ්ලොග් එක ලියන එකේ අරමුණ. ස්තූතියි.

      Delete
  3. කීප වතාවක් මෙතනට ගිහිං තිබ්බට හරි හමන් විස්තරයක් දැනගත්තේ මේකෙන් , ස්තුතියි

    ReplyDelete
    Replies
    1. මේ අපේ ගම් ප්‍රදේශනෙ. මේව අපි අහපු දැකපු දේවල්නෙ.

      Delete
  4. ඉතාම වැදගත් පුවත් එකතුවක්

    ReplyDelete
  5. කතාව මම දන්නේ ඔය මගේ සොයුරියක් බලන්න යනකොට ඔය දේවාලේ පහුකරලා යන්න ඕනේ නිසා. මලයා හැම වෙලේමඔතන පිං පෙට්ටියට පඬුරු දානවා. හොඳ ලිපියක්.

    ReplyDelete
    Replies
    1. ඔතනින් යන බොහෝ අය පිං පෙට්ටියට පඬුරක් දාල තමයි යන්නෙ.

      Delete
  6. සමාවෙන්න මෙයට වඩා වෙනස් තොරතුරු ටිකක් මන් ලගත් තියෙනව සහ මන් කලින් ලියා ඇත.අලුතින් ලියමින් යනවිට හමු උන ලිපියක් නිසා දින කීපයකින් මාද පල කරන අතර මේ ප්‍රදේශයේ ජීවත්වන අපිට ඉතාම ආඩම්බර තොරතුරු රාශියක් සොයා යමු..මමද මේ ගම් ඉසව්වල කරක් ගහපු ගම්බද කොල්ලෙක්,,,,,ස්තුතියි..මම කොස්වාඩියෙන්

    ReplyDelete
  7. බොහොම වැදගත් ලිපියක්... ස්තූතියි

    ReplyDelete
  8. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය .

    ReplyDelete