Thursday, July 9, 2015

පළමු රහතුන් වැඩසිටි සොඳුරු වන අරණ -- රිටිගල


 

ගිමින් බසිමින් දිවෙන රමණීය කඳු වැටියක පරිවාර කඳු හතකින් වට වූ ඵෙතිහාසික වශයෙන් මෙන්ම පාරිසරික වශයෙනුත් ශ්‍රී ලාංකිකයන්ට වැදගත් වන ස්වභාව සෞන්දර්යයෙන් අනූන ස්ථානයකි "අරිට්ඨ පබ්බත" හෙවත් "රිටිගල" කන්ද.
 
මහාවංසය ආදි පුරාතන ඵෙතිහාසික ග්‍රන්ථයන්හි 'අරිට්ඨ පබ්බත' නමින්ද, ජනප්‍රවාදයන්හි 'රැකවරණ කන්ද' හා 'භයංකර කන්ද' නමින්ද හඳුන්වනු ලැබූ රිටිගල කන්ද හා සම්බන්ධ ජනශ්‍රැති හා ජනප්‍රවාදයන් රැසකි.

 
මහාවංසයට අනුව රිටිගල කන්ද 'අරිට්ඨ පබ්බත' යි.අරිට්ඨ පබ්බත යන්නෙන් අර්ථවත් වන්නේ ආරක්ෂිත පව්ව යන්නය.

 
ක්‍රි.පූ. 3 වන සියවසේ ලක්දිව වැඩ විසූ පළමුවන මහ රහතන් වහන්සේ වූ අරිට්ඨ මහ රහතන් වහන්සේ නමින් මේ කන්ද හැදින්වූ බව ජනප්‍රවාදයන්හි සදහන් වේ.අරිට්ඨ මහ රහතන් වහන්සේ යනු දේවානම්පියතිස්ස රජුගේ බෑනණුවන්ය.

 
ඉතිහාසගත මහ නර විරුවන් කිහිපදෙනකුට රැකවරණය සැලසූ පර්වතය යන අරුතින් මෙය 'රැකවරණ කන්ද' නමින් හැදින්වූ බවට ජනප්‍රවාද සාක්ෂි දරයි.

 
ලංකාවේ පළමු සිංහල නරපතියා ලෙස සැලකෙන පණ්ඩුකාභය කුමරු තමන්ට එරෙහි වූ මාමාවරුන් සමඟ යුධ වැදීමට සේනා සංවිධානය කළේද රිටිගල කඳුයායේදීය. දුටුගැමුණු රජතුමා එළාරට එරෙහිව යුධ සේනා සංවිධානය කිරීමේදි රිටිගල කන්ද රැකවරණය ස්ථානය ලෙස යොදාගත් බවද සදහන් වේ.

 
රිටිගල කන්ද හා සම්බන්ධ රසවත් ජනප්‍රවාදයන් ද පවතී.

 
රිටිගල වනපෙතට නායක වූ යක්ෂ ගෝත්‍රික රිටිගල ජයසේන මහසෝනා බවට පත්වී ඇත්තේද මෙම රිටිගල කන්දේලු.

 
දුටුගැමුණු රජුගේ දසමහ යෝධයන්ගෙන් කෙනෙකු වූ ගෝඨයිම්බරට ජයසේන නම් යහළුවෙක් විය. දිනක් ජයසේන කළ නොහොබිනා විහිළුවක් නිසා කෝපයට පත් ගෝඨයිම්බර ජයසේන සමඟ සටනට එළඹිණි. සටනේදී ගෝඨයිම්බරගේ පහරකින් ජයසේනගේ හිස කඳින් වෙන්වී ගියේය. ජයසේනගේ මිතුරු සෙනසුරු මේ විපත අසා එතැනට දිව ආවේය. ඒ වන විටත් කවන්ධයේ ප්‍රාණය රැදී තිබෙන බව දුටු සෙනසුරුට ජයසේනගේ හිස සොයාගත නොහැකි වූ අතර ඔහු වලසෙකුගේ හිසක් කපා ජයසේනට බද්ධ කළේලු. කළබලයට සෙනසුරු වලස් හිස බද්ධ කොට තිබුණේ මුහුණ පිටුපසට සිටින ලෙස ලු. ජයසේන මහසෝනා බවට පත්වී ඇත්තේ එළෙසිණි.


අදත් මහසෝනාගේ රූපය අඹන විට හිස පිටුපසට සිටින සේ අඹනු ලැබේ.

 
මේ අතර වරින් වර විසූ සිංහල රජවරුන් රිටිගල පරිසරයේ පූජනීය ස්ථාන ඉදිකොට තිබේ.

 
ලජ්ජතිස්ස රජු විසින් ක්‍රි.පූ.59-50 වැන්නේදී අරිට්ඨ විහාරයද, සූරතිස්ස රජු විසින් ක්‍රි.පූ 187-177 දී රිටිගල පාමුල ලංකා විහාරයද, පළමුවන සේන රජු විසින් භික්ෂුන් වහන්සේ සදහා ආරාමයක් ද ඉදිකරන ලද බව ඵෙතිහාසික තොරතුරු අනාවරණ කරයි.

 
එමෙන්ම ලක්දිව ප්‍රථම මහ රහතන්වහන්සේ වන අරිට්ඨ මාහිමියන් ඇතුළු 500ක් සංඝ රත්නය රිටිගල ආරණ්‍යවාසීව විසූ බව මහාවංසයේ සදහන් වේ.






 
කටාරම් කොටන ලද ගල්ලෙන් 74 ක්ද , බ්‍රාහ්මී අක්ෂර වලින් ලියන ලද ශිලා ලේඛන 152 ක්ද, ඵෙතිහාසික වටිනාකම් ඇති ගොඩනැගිලි 140 ක පමණ නටඹුන්ද, පුරා විද්‍යාත්මක වටිනාකම් සහිත අති පැරැණි ආයුර්වේද රෝහලක නටඹුන්ද මෙම රිටිගල භූමියේ අදටත් ඉතිරිව තිබේ.

 
මෙහි අදත් දක්නට ඇති සුවිශේෂීම නිර්මාණය වන්නේ ශෛලමය "බන්දා පොකුණ"යි. ගලින් ගල ළංකොට බැඳ සකසා ඇති බැවින් එය බන්දා පොකුණ නම් වීලු. ගස් වලින් සෙවන වූ හිරු එළිය බිඳකුදු මිහිමතට පතිත නොවන සේ සෑදුණු තුරු වියන යටින් ඇති බන්දා පොකුණ වර්තමානයේ පවතින නටඹුන් තත්ත්වය යටතේ පවා අතිශය සිත්ගන්නා සුළු වෙයි. දකුණු ආසියාවේ පවත්නා අති විශාලතම ශෛලමය පොකුණ ලෙස පුරාවිද්‍යාඥයන් විසින් මෙම බන්දා පොකුණ හදුනාගෙන තිබේ.






 
මීට අමතරව ගල්පාලම්, පියගැටපේළී, කවාකාර ශෛලමය වේදිකා, ඔපදැමූ ගල් පුවරු, ශෛලමය පහණ, තටාක, බෙහෙත් ඔරු, සළපතල මළු, විවේකාගාර ආදී ශෛලමය නිර්මාණ තුළ ගැබ්ව ඇත්තේ අපේ අතීත නිර්මාණ කෞෂල්‍යය යි.


රිටිගල කන්ද වැදගත් වන්නේ ඉහත සදහන් පුරාවිද්‍යාත්මක හා ඵෙතිහාසික සාධක නිසා පමණක් නොවේ.
 
රිටිගල කන්ද ජෛව විවිධත්ව පාරාදීසයකි. මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම කදු වැටිය තුළ එකිනෙකට වෙනස් වූ පරිසර පද්ධතීන් තුනක් පැවතීමය. එනම්, වියලි, මිශ්‍ර සදාහරිත වනානතරමය ලක්ෂණ, තෙත් කලාපීය වනාන්තර ලක්ෂණ හා කඳුකර කලාපීය වනාන්තර ලක්ෂණ මෙන්ම එම පරිසර පද්ධතීන් වල වැවෙන මහා වනස්පතියේ සිට කුඩා පැලෑටිය දක්වාම වු වෘක්ෂලතාදියෙන් මෙම භූමිය වැසී තිබිමය.

 
තුරුගොමු හා ලියගොමු වලින් පිරී පවතින්නා වූ මේ සොඳුරු වන පියසේ තිබෙන අඩි 50 ක් පමණ උස "වන මී" ගස ශ්‍රීලංකාවේ අන් කිසිදු තැනකින් සොයාගත නොහැකි දුර්ලභ ගණයේ වෘක්ෂයකි. දසත විහිදුණු අතුපතර ඇති මෙම රූක්ෂ ගසෙහි කඳ පළුදු කළ විට රුධිරය වැනි රතු පැහැති දියරයක් වැගිරෙයි. මෙය දියවැඩියා රෝගයට මහඟු ඖෂධයක් බව කියවේ. මෙහි මල්මී සොයමින් යනෙන සමනලුන්ගේ දර්ශනය අතිශය චමත්කාරජනකය.





 
මෙහි ඇති "වෙම්බඩංගා" නම් වැල් විශේෂය දැවැන්ත නයින් පිඹුරන් මෙන් රූස්ස ගස් වෙලාගෙන සිටින අයුරු දැකීම බියක් මෙන්ම සුන්දරත්වයක්ද දනවයි.

 
රිටිගල කන්ද ඖෂධ පැලෑටි වලින් ගහන ස්ථානයක් ද වේ. මේ හා සම්බන්ධ අපූරු ජනප්‍රවාදයක්ද පවතී.

 
ලංකාවේ රාවනා රජු සමඟ සටනට පැමිණි රාම රජුගේ සොහොයුරු ලක්ෂ්මන හදිසියේ තුවාල ලැබීය. රාම රජු හිමාලයෙන් ඹෟෂධ පැලෑටි ගෙනෙන්නට හනුමන්ව පිටත් කළ අතර ඉංදියාවට යන අතරතුර ඔහුට ඹෟෂධ පැලෑටි වල නම් අමතක වූයෙන් ඔහු හිමාලයේ ඖෂධ උයනෙන් කොටසක් උදුරා ගෙන ලංකාවට ගෙනැවිත් රිටිගල කන්දට අතහැරියේලු. අදටත් රිටිගල කන්දේ පැතිරි තිබෙන්නේ එම ඖෂධ පැලෑටිලු.

 
" සන්සෙව්" නමින් හදුන්වන රිටිගල කදු මුදුනේ ඇති ඹෟෂධීය පැලෑටිය මිනිසුන්ගේ සියලු වේදනාවන්ට සුවය ලබා දෙන බවට විශ්වාස කෙරේ.

 
දුර්ලභ වූ ජෛව විවිධත්වයක් ඇති රිටිගල රක්ෂිතයේ ශාක විශේෂ 337 ක් පමණ තිබේ. ඒවායින් 57 ක් ශ්‍රීලංකාවට පමණක් ආවේණික වූ ශාකයන් වේ. එමෙන්ම රිටිගලටම ආවේණික වූ ශාක විශේෂ 5 ක් තිබේ.රිටිගල තම්බජියා, කප්පර වල්ලිය, නෙලු, උන, මී යනු එම ආවේණික ශාක වර්ග වේ.





 
මුහුදු මට්ටමේ සිට මීටර් 766 ක් උසින් පිහිටි රිටිගල කඳු ශිඛරය මතට නැග අවට නරඹන්නන් හට මිහින්තලය, රුවන්වැලිසෑය ආදී අනුරාධපුර පුදබිමේ පූජනීය ස්ථාන ද මින්නේරිය, ගිරිතලේ වැව් ද දිස්වේ.

 
චෝල ආක්‍රමණ හේතුවෙන් ආරණ්‍ය සේනාසනය විනාශ වී යාමෙන් පසු මිනිස් පාදස්පර්ශයෙන් තොරව මහාමූකලානක් බවට පත් වූ රිටිගල 1872 දී මාර්ක් ටේල් නමැති පුරාවිද්‍යාඥයා විසින් කරන ලද පර්යේෂණය මගින් ලෝකයට නිරාවරණය කරන ලදි.

 
රිටිගල ජාතික සම්පතක් ලෙස සංරක්ෂණය කිරීමේ වටිනාකම වටහා ගත් එවකට පුරාවිද්‍යා කොමසාරිස් ධූරය දැරූ රාජා ද සිල්වා මහතා 1941.11.07 දරණ රජයේ ගැසට් නිවේදනය මගින් රිටිගල කන්දේ වර්ග කිලෝමීටර් 5.28 ක භූමි ප්‍රදේශයක් දැඩි ආරක්ෂිතයි කලාපයක් බවට ප්‍රකාශයට පත් කරන ලදි.

 
අද වන විට රිටිගල පරිසරය සංස්කෘතික ත්‍රිකෝණයට අයත් පෞරාණික ස්ථානයක් ලෙසද ප්‍රකාශයට පත් කොට ඇත.

 
ඵෙතිහාසික හා පුරාවිද්‍යාත්මක නටඹුන් රැසක් දරාගෙන ජනශ්‍රැති හා ජනප්‍රවාදයන් රැසකට උරුමකම් කියමින් සුන්දර ශ්‍රීලංකාවේ අසිරිමත් වන පියස, රිටිගල කන්ද වෙනස් වන ලොව දෙස නිහඩවම බලා සිටී.




19 comments:

  1. ‍ෆේස්බුක් group එකක් වශයෙන් පවත්වාගෙන ගිය "දසත සැරිසර" බ්ලොග් අඩවියටත් සම්ප්‍රාප්තවීම ගැන මගේ හෘදයාංගම සුභාශිංසන පිරි නමමි. එමෙන්ම අන්තර්ජාලය දැනුම වඩන තෝතැන්නක් බවට පත් කිරීම සඳහා ඔබ වැනි ඇදුරුතුමියක ඉදිරිපත් වීම සතුටට කරුණකි. ජය පතමි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. දැනුම බෙදා දීමටයි අප හුරු වී සිටින්නේ. නිදහස් අධ්‍යාපනයෙන් අප ලද මෙන්ම සමාජ අත්දැකීම් මගින් අප උකහා ගන්නා දැනුම තවත් පරම්පරාවකකට බෙදා දීම අපේ යුතුකමක්.

      Delete
  2. සංචාරක සටහන් වලින් එහා ගිය දැනුම් සම්භාරයක්.

    ReplyDelete
    Replies
    1. මා උත්සහ කරන්නේත් හුදු සංචාරක සටහනකින් ඔබ්බට ගිය දැනුමක් සොයා යන්නටයි.

      Delete
  3. තිලකසිත ගේ බ්ලොග් එකේ කොමෙන්ට් එකකින් දැකලා ආවේ.. ලිපි කිහිපයක්ම කියෙව්වා.. බොහොම අගෙයි. සිඳී කීපයක් හරහා ප්‍රචාරය කර දැනුවත් කිරීමට වටිනවා.

    ReplyDelete
    Replies
    1. දැනටමත් සින්ඩිකේට් වල තියෙනවා. කල්‍යාණ මිත්‍රගේ යෝජනාව හරිම වටිනවා. ඔය වැඩේට නම් කම්මැලියි තමයි. ඒත් තවත් ප්‍රචාරය දෙන්න උත්සහ කරන්නම්.

      Delete
  4. නෙලුම් යාය බ්ලොග් සම්මාන උළෙල - 2016
    බ්ලොග් සටහන් ලියන්නට පටන් ගෙන වසරක් යන්නටත් පෙර ඉතිහාසට අංශය යටතේ සම්මානයට නිර්දේශිත වීම ගැන මගේ සතුට...

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ලෝකයට පිවිසෙන්නට මග පෙන්වා දුන් ඔබට ස්තූතියි.

      Delete
  5. වටිනා ලිපියක්....මං අහල තියෙනවා ඔය කියන ජයසේන යෝධයාගෙ තල්ල වැටුනු ප්‍රදේශය යක් තල්ල ලෙසින් හැදින්වූ බවත් පසු කාලයේ එය යකල්ල නමින් ප්‍රසිද්ධ වූ බවත්...එම ප්‍රදෙශය හුරුළු වැවට ඇතුළු වීමට පෙර හමුවන ප්‍රදේශයයි

    ReplyDelete
    Replies
    1. ඔබ පවසන ජනප්‍රවාදය ගැන නං මා දැනගෙන සිටියේ නැහැ. මෙය සඳහන් කළාට ස්තූතියි.

      Delete
  6. අනර්ගයි.... මේ අන්තිම ච්යරුපේ නාමල් උයන වගේමයි..

    ReplyDelete
    Replies
    1. නාමල් උයනෙත් මේ වගේ දසුන් තියෙනව තමයි. වනයේ දසුන් බොහෝ විට එක වගේ හැඩ ගන්නවානේ.

      Delete
  7. අගනා මෙහෙයක් ....

    ReplyDelete
    Replies
    1. අගය කිරීම ගැන ස්තූතියි.

      Delete
  8. රිටිගල කියන්නේ අනේපිඩුසිටුතුමා විසින් බුදුරාජනන් උදෙසා තනා නිමකල දුන් ජෙතවනාරාමය වේ මහා වන්සය පසු කලක ලියු බුද්ද ගොස ඉතිහාසය ඉන්දියවට සම්බන්ද කල නිසා අපේ උරුමය අපිට අහිමි විය

    ReplyDelete
  9. ඔබතුමිය ගේ මේ උත්සාහය බෙහෙවින් අගය කරමී. තව තවත් මෙවන් වටිනා දැනුම මේ අවකාශයට එකතු කරන්නට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමී. මන්දොදරිය ගැන ලියවුනු මගේ සිතුවිල්ලකට මේ ලිපියේ දිගුවක් ලබාගන්නවාට ඔබතුමිය විරුද්ධ නොවෙනු ඇතැයි සිතමී

    ReplyDelete
  10. රිටිගල සංරසංරක්ෂවිය යුතු ස්ථාන හා එවා සංරක්ෂණ කළයුතු ආකරය මැදිහත් වීමේ මට්ටම දැනගැනීමට ලිපියක් දාන්න පුලුවන්ද

    ReplyDelete
  11. රිටිගල සංරසංරක්ෂවිය යුතු ස්ථාන හා එවා සංරක්ෂණ කළයුතු ආකරය මැදිහත් වීමේ මට්ටම දැනගැනීමට ලිපියක් දාන්න පුලුවන්ද

    ReplyDelete