Wednesday, March 23, 2016

බ්‍රිතාන්‍ය රාජකීයයෙකුගේ සිහින මාළිගාව- ඇඩිසම් මන්දීරය..........


ර්ෂ 1815 දී මුළු තුන් සිංහලයම යටත් කොට ගෙන සිය ධජය ලක් බිම මත ලෙළවූ බ්‍රිතාන්‍යයයින් විසින් ගොඩනැගූ නිර්මාණ හා ස්මාරක අදටත් මේ ධරණිතලය තුළ විරාජමාන වන්නේ වසර 133ක් වූ බ්‍රිතාන්‍යය යටත්විජිත පාලන සමය යළි යළිත් මෙනෙහි කරවමිනි .
හපුතලේ නගරයට ආසන්නයේ ග්ලැනෝර් වතුයායට නුදුරුව තංගමලේ අභය භූමිය මධ්‍යයේ විරාජමාන වන, ප්‍රදේශවාසීන් "ගල් බංගලාව " නමින් හදුන්වන "ඇඩිසම් මන්දීරය " එවන් වූ ඵෛතිහාසික කාල පරිච්ඡේදයක් අදටත් ප්‍රතිනිර්මාණය කරන්නකි.
දෙවරක් එංගලන්තයේ අගමැති ධූරයට පත් ජෝන් රසල්ගේ මුණුබුරු වන තෝමස් ලිස්ටර් විලර්ස් තරුණයා ලංකාවට ගොඩබසින්නේ සුන්දර හපූතලේ භූමියේ සිහින මාලිගාවක් ගොඩ නැගීමට නොව බොගවන්තලාව ඵල්ලබැද්ද වතුයායේ ආධුනික වතුපාලකවරයා ලෙස සිය ප්‍රථම රැකියාව ඇරඹීමටය.

 සර් තෝමස් ලිස්ටර් විලර්ස්

1896 බ්‍රිතාන්‍යයේ ස්කොට්ලන්තයේ කෙන්ට් ප්‍රාන්තයේ ඇඩිසම් නම් කුඩා නගරයේදී උපත ලබන තෝමස් ලිස්ටර් විලර්ස්ගේ පියා හෙන්රි මොන්ටේගු නම් දෙව්ගැතිවරයා වන අතර , මව දෙවරක් එංගලන්තයේ අගමැති බවට පත්වූ ජෝන් රසල්ගේ මිනිබිරිය වූ වික්ටෝරියා රසල් නම් රාජකීය කාන්තාවයි.

උපතින්ම රාජකීයෙකු වූ තෝමස් ලිස්ටර් පසු කලෙක එංගලන්තයේ අටවන තැනට පත් ධනකුවේරයා බවටද නම් කරනු ලබනවා.
1896 දී එවන්ලී හෝප් වෝකර් මෙනෙවිය සමග විවාහ වන ලිස්ටර් 1929 දී ජෝර්ජ් ස්ටූවර්ට් සමාගමේ සභාපතිවරයා බවට පත්වන අතර සුන්දර තංගමලේ අභයභූමිය මධ්‍යයේ වතුයායක් මිලදී ගනු ලබනුයේ සිය සිහින මාළිගය ඉදිකිරීමේ බලාපොරොත්තුවෙනි.
ආර්. බොත් සහ එෆ්. වෙබ්ස්ටර් යන සුප්‍රසිද්ධ ගෘහ නිර්මාණශිල්පීන් දෙදෙනා විසින් නිර්මාණයකරණ ලද මෙම මන්දීරයේ ඉදිකිරීම් 1929 දී ආරම්භ කරන ලද අතර එහි සියලු ඉදිකිරීම් 1931දී අවසන් කරණ ලදී.
අයර්ලන්ත ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ගොඩනගන ලද මේ මන්දීරයේ බිත්ති සම්පුර්ණයෙන්ම කළුගලින් නිර්මාණය කොට ඇත.

මෙම මන්දීරය ඉදිකිරීමේ ඇති විශේෂත්වය වන්නේ දශක ගණනාවකට ඉහත දුෂ්කර ප්‍රවාහන පහසුකම් තිබූ යුගයක මෙම මැදුර ගොඩනැගීමට අවශ්‍යය සියලු ගොඩනැගිලි ද්‍රව්‍ය එංගලන්තයෙන් ප්‍රවාහනය කිරිමයි.
ඉන්දීය පෙදරේරුවන් යොදාගෙන ගොඩනගන ලද මෙම මන්දීරයේ ඇති සුවිශේෂීම නිර්මාණය වන්නේ වහලය යි.
බුරුම තේක්ක වලින් සෑදු උළු විශේෂයක් භාවිතා කර ඇති මෙහි වහලය ටියුඩර්- ජැක්ඩීන් ගෘහ නිර්මාණ කලාවට අනුව නිර්මාණය වූවකි.

මෙම තේක්ක වහලය මධ්‍ය කදුකරයට නිතර කඩාහැලෙන වර්ෂාවෙන් හා අව්වෙන් කිසිදු හානියකට ලක් නොවී දශක ගණනාවක්ම ආරක්ෂිතව පැවතීමද විස්මයකි.

මෙම වහලයේ ආරක්ෂාව සදහා වසර දෙකකට වරක් විශේෂිත වූ තෙල් වර්ගයක් ආලේප කරණු ලබන අතර එය අද දක්වාම අඛණ්ඩව සිදු කරණු ලබන්නකි.
මහල් දෙකකින් යුතු මෙම මන්දීරය කාමර 25 කින් සමන්විත වන අතර ඉන් කාමර 12 ක් ඉහළ මාලයේ නිර්මාණය කර ඇත. සෑම කාමරයක්ම උණුසුම් කිරීම සදහා ගල් අඟුරු උදුන් නිර්මාණය කර ඇති අතර ඒවායෙහි අළු පිටවීම සදහා විශේෂ භ්‍රමණාකාර කවුළු සහිත කුළුණු හයක් වහලය මත ඉදිකොට තිබේ.




අති සුඛෝපභෝගී පහසුකම් සහිතව ගොඩනගා ඇති මෙම මැදුරෙහි කාමර වලට උණුවතුර සැපයීම සදහාම විශාල බොයිලේරුවක් සහිත කාමරයක්ද ඉදිකොට ඇත.
කලාත්මක හා පෞරාණික බවට මුල්තැන දී නිර්මාණය කොට ඇති මෙම මන්දීරයේ ඇතුළත විවිධ ස්ථානවල හා සිවිලිමේ, තේක්ක ලීයෙන් කළ විවිධ කැටයම්ද නිර්මාණය කොට ඇත.

එමෙන්ම බොහෝ ඉදිකිරීම් බුරුම තේක්ක යොදාගෙන කර ඇති අතර උළුවහු , වහල, සිවිලිම, බිම තේක්ක වලින්ම නිර්මාණය කර ඇත. සිවිලිමෙහි කැටයම් වලට පමණක් ප්ලාස්ටර් පැරිස් යොදාගෙන ඇත.
ජනෙල්, පඩිපෙළවල්, දොරපළු ආදියද බුරුම තේක්කයෙන්ම ඉදිකොට ඇති මෙහි ඇතුළත ඇති සියලුම ගෘහභාණ්ඩ එංගලන්තයෙන් ගෙන්වන ලද ඒවා වන අතර පාපිසි, වීදුරුබඩු, පිඟන් ආදී භාණ්ඩද එංගලන්තයෙන්ම ගෙන්වන ලද ඒවායි.
ඇඩිසම් නම් සිය උපන් ගම සිහිවීම පිණිස මෙයට "ඇඩිසම් බංගලාව" ලෙස නම් තැබූ ලිස්ටර් විලර්ස් 1931 දී සිය බිරිඳ සමග මෙහි පදිංචියට පැමිණියේය.


පුරා දශක දෙකක් ලිස්ටර් විලර්ස් සිය පුද්ගලික නිවහන ලෙස භාවිතා කරණු ලැබූවේ මෙයයි.
ඇඩිසම් මන්දීරයේ අමුත්තන් සදහා වෙන්වූ පහළ මාලයේ ආලින්දයේ විලර්ස් සාමාජිකයන්ගේ පොත්පත් සහිත පෞරාණික ගෘහභාණ්ඩ අදටත් දක්නට ලැබෙන අතර සුප්‍රසිද්ධ චිත්‍ර ශිල්පී ඩේවිඩ් පේන්ටර් විසින් අඳින ලද තෝමස් ලිස්ටර් විලර්ස් මහතාගේ ආලේඛ්‍ය චිත්‍රයක්ද දක්නට ලැබේ.



එමෙන්ම දක්ෂ චිත්‍ර ශිල්පිනියක වූ විලර්ස් මහතාගේ බිරිඳ විසින් අඳින ලද කඳුකර ප්‍රදේශයේ විවිධ, විචිත්‍රවත් ස්ථාන වල දර්ශන පිළිබිඹු කරන දර්ශනීය චිත්‍රද මෙම මන්දිරයේ සෑම ස්ථානයකම දක්නට ඇත.



ඇඩිසම් මන්දීරයේ අවට අක්කර 15 ක භූමි භාගය තුළ බ්‍රිතාන්‍යයට ආවේණික විවිධ පලතුරු සහිත
උයනක් නිර්මාණය කොට ඇත්තේ මෙම මැදුරට බ්‍රිතාන්‍යය පරිසරයේ පසුබිමක් ලබාදීමේ අරමුණෙනි.
1948 දී ලංකාවට සමුදී එංගලන්තය බලා නැව් නගින සර් තෝමස් ලිස්ටර් විලර්ස් දශක දෙකකට ආසන්න කාලයක් සිය සිහින නිවහන වූ ඇඩිසම් මන්දීරය රුක්මණී බෙලිගම්මන මැතිණියට විකුණා දමන අතර 1851 අප්‍රේල් මාසයේදී සේදවත්ත සමාගම විසින් මිලදී ගනු ලැබිණ.
පසුකලෙක විමලා විජේවර්ධන මැතිණිය විසින් මිලදී ගන්නා ලද ඇඩිසම් බංගලාව ඇය විසින්ම 1962 දී රෝමානු කතෝලික සභාවට විකුණා දමන ලදී.



වර්තමානය වන විට මෙම ඇඩිසම් මන්දීරය සාන්ත බෙනඩික්ට් තාපසාරාමය ලෙස හඳුන්වන අතර පූජකවරුන් පුහුණු කිරීමේ හා දැනුම සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යනු ලැබේ.
සියලු දේ අනිත්‍ය යැයි ලෝකයට පසක් කරමින් අති සුඛෝපභෝගී මහා මන්දීරයක් ලෝකයට දායාද කළ සර් තෝමස් ලිස්ටර් විලර්ස් සිය සිහින මාළිගාවට සැතපුම් දහස් ගණනක් දුරින්, 1959 දෙසැම්බර් 21 දා එංගලන්තයේදී අවසන් ගමන ගියේය.
"යාච්ඤාව හා වැඩ කිරීම "යන ශුද්ධවූ බෙනඩික්ට් තුමාගේ ආදර්ශ පාඨය පෙරදැරි කොටගත් මග යමින් තංගමලේ අභයභූමිය මධ්‍යයේ මනස්කාන්ත දර්ශනයක් මවමින් ප්‍රතාපවත් ඇඩිසම් මන්දීරය අදත් විරාජමාන වේ.













Tuesday, February 2, 2016

ලොව පළමු දාගැබ ගිරිහඬු මහා සෑය....

බෞද්ධ ශාසන ඉතිහාසයේ ඉතා වැදගත් පූජනීය ස්ථානයක් ලෙස ස්ථූපය හදුන්වා දිය හැකිය.
ස්ථූපයක් ගොඩනගන්නේ පූජනීයත්වයට පත්වූවන්ගේ ධාතු තැන්පත් කිරීමෙන් වන අතර එය තැනිය යුත්තේ කවුරුන් උදෙසාද යන්න බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දී තිබේ. බුදු, පසේබුදු, මහරහත්, සක්විතිරජ යන සිව් දෙනා වෙනුවෙන් පමණක් ස්ථූප ගොඩනගන ලෙස බුදුරජාණන් වහන්සේ වදාරා තිබේ.
ගෞතම බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතු ලැබූ තපස්සු-භල්ලික වෙළෙඳ දෙබෑයන් විසින් ලංකාවේ ගිරිහඬු ප්‍රදේශයේ කේශ ධාතු නිදන් කොට දාගැබක් කරවූ බව පූජාවලියේ සදහන් වේ.
මෙය ලෝක බෞද්ධ ස්ථූප ඉතිහාසයේ ආදිතම ප්‍රවෘත්තියයි.
ත්‍රිකුණාමල දිසාවේ කට්ටිකුලම් පත්තුවේ යාන් ඔය මුහුදට ගලා බසින තිරියායේ කල්ලරාය අසල සැතපුමක් දිග මුදුන් තුනකින් හෙබි අඩි 212 ක් උස් වූ පුරාතනයේ ගිරිකණ්ඩ පර්වතය මෙන්ම ගිරිහඬු ගිරිකඬ නමින්ද හැදින් වූ පර්වතය මුදුනේ පිහිටි ගිරිහඬු සෑය නීතුපත්පාන විහාරය නමින්ද හදුන්වයි. ද්‍රවිඩ ජනයා තිරියාය මලේ හා කන්දසාමි මලේ නමින්ද හදුන්වන්නේ මෙයයි.
මුල්කාලයේ ගිරිකණ්ඩය නමින් හැදින්වූ මෙය නීතුපත්පාන වූ ආකාරය ගැන ජනප්‍රවාද දෙකකි.
වෙළඳ නායකයන් පැමිණි ගල්තලය යන අර්ථයෙන් "නෙතු පතන පාසාන" යන වචනය ජනතා ව්‍යවහාරයේදී නීතුපත්පාන වූ බව එක් ජනප්‍රවාදයකි.
එමෙන්ම නිතිපතා දැල්වුණ පහනක් තිබෙන ස්ථානය පසුව නීතුපත්පාන වූ බව අනෙක් ජනප්‍රවාදයයි.
මෙම ජනප්‍රවාදයන් කෙසේ වූවද ගිරිහඬු සෑය නීතුපත්පාන විහාරය නමින්ද පුරාතනයේ හඳුන්වා ඇති බව පුරාවිද්‍යාඥයන්ගේ මතයයි.
ගිරිහඬු සෑය හා බැඳුණු අපූරු කතා පුවතක්ද තිබේ.
බුද්ධත්වයට පත් වූ බුදුන්වහන්සේ, බුද්ධත්වයට පත්ව 50 වන දිනයේදී තපස්සු-භල්ලික වෙළෙඳ දෙබෑයන් විසින් පිළිගන්වන ලද විලඳ හා මී පැණි ප්‍රථම දානය ලෙස පිළිගත් බව පූජාවලිය සඳහන් කරයි.
දානය පිළිගැන්වීමෙන් සතුටට පත් වෙළෙඳුන් වැඳුම් පිදුම් සඳහා යමක් ඉල්ලා සිටි බවත්, බුදුන්වහන්සේ හිස පිරි මැද කේශ ධාතූන් ලබාදුන් බවත් පූජාවලිය වැඩිදුරටත් සඳහන් කරයි.
මෙම කේශ ධාතූන් රැගෙන උත්තලා නගරයේ සිට පෙරදිග වෙළඳාමට යන අතරතුර මොවුන් ලංකාවට ගොඩබට බවත්, එම ස්ථානය ත්‍රිකුණාමලය, කුච්ඡවේලිය ප්‍රදේශයේ ගල්වරාය බවත් තවදුරටත් සඳහන් වන අතර මොවුන් යාංඔය ඔස්සේ ගිරිකණ්ඩ පර්වතයට පැමිණ සුරක්ෂිත ස්ථානයක කේශ ධාතූන් තැන්පත් කොට ආහාරගත් බවත්, ආපසු යාමට සූදානම්ව කේශ ධාතූන් රැගෙන යාමට උත්සහ කළ අවස්ථාවේ ඒවා ඉවත් කරගත නොහැකිව එම ස්ථානයේම නිදන් කොට ගිරිහඬු සෑය ඉදිකළ බවත් ඓතිහාසික ලේඛනවල සඳහන් වේ.
මෙරට ඉදිවූ පළමු බෞද්ධ සංකේතය ගිරිහඬු මහා වෙහෙර බවට ඓතිහාසික සාධකයන් රැසක් ද හමුවී තිබේ.
මෙම ගිරිගඬු පව්වේ වූ විශාල සෙල් ලිපියක් 1929 දී හමු වූ අතර එම ලියවිල්ලට අනුව තපස්සු-භල්ලික වෙළෙඳ දෙබෑයන් ඉදි කළ කේශ ධාතූ චෛත්‍යය ගිරිහඬු සෑයම බව රජයේ ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත්කර ඇත.
තිරියායේ සෙල් ලිපිය ලෙස හැඳින්වෙන්නේ ගිරිහඬු සෑයෙන් සොයාගත් මෙම ලියවිල්ලයි.
ආදිම ලංකා ඉතිහාසයේ මැකීගිය තොරතුරු තිරියාය සෙල් ලිපියෙන් අනාවරණය වේ.
මෙමගින් ගිරිහඬු සෑයේ පුරාවෘත්තය සදාකාලයටම සුරැකෙන සේ ලියැවී තිබේ.
පූජාවලියේ සඳහන්වන වෙළෙඳ දෙබෑයන් ත්‍රිකුණාමලයේ තිරියායට පැමිණි බවද තිරියාය සෙල් ලිපිය සනාථ කරයි.
ගිරිහඬු කඳුමුදුනේ පිහිටි ගල් ලෙන්වල බ්‍රාහ්මීය අක්ෂර අකාරයේ ලියවිලි හමුවී ඇත.
සංස්කෘත භාෂාවෙන් ලියැවී ඇති අඩි 20 පමණ දිගට ලියැවුණු තිරියාය සෙල් ලිපිය ලියා ඇත්තේ අග්‍රබෝධි සිලාමේඝ රජසමයේ දී බව පැවසේ. 
එනම් ගිරිහඩු සෑය ඉදිකොට වසර 1200 කට පසුවය.
එතෙක් කල් ජනප්‍රවාදයේ පැවැති මේ කතා පුවත සෙල් ලිපියේ ලියා ඇත්තේ සංස්කෘත දේවනාගර අක්ෂරවලිනි.
පේළි 11 කින් යුත් මෙය ශ්ලෝක 11 බවත් ඒවායින් කියවෙන්නේ සෑය වන්දනා කරන ගීත බවත් පුරාවිද්‍යාඥයෝ පවසති.
මෙම පුදබිමේ ඇති විශිෂ්ටම නිර්මාණය වන්නේ ගිරිහඬු සෑය මැදි කොටගත් ශෛලමය වටදාගෙයයි.
ක්‍රි.වර්ෂ 733 දී අනුරපුර රජ වූ අග්‍රබෝධි සිලාමේඝ රාජයන්ගේ කාලයේදී කලින් වූ සෑය වටා අද පෙනෙන වටදාගෙය නිර්මාණය වූයේ යැයි අනුමාන කරනුයේ "රත්සල් බතින් ලැව් පහණි" යන සෙල් ලිපිය නිසාය. 
මෙම වටදාගෙය කුළුණු 44 ක් මත ඉදිකොට ඇති බව පෙනේ.
අනුරාධපුර ථූපාරාමය, මැදිරිගිරිය ආදී වටදාගෙවල් වල වහල රඳවා ගල්කණු හිස වෙනම නෙලා සවිකර ඇතත් තිරියාය වටදාගේ ගල්කණු හිසත් සමග තනි ගලෙන්ම නිමවා තිබීම මෙහි ඇති විශේෂත්වයයි.
ගිරිහඬු සෑයේ සිව්දෙසින් අලංකාර කැටයමින් යුතු ගල් ආසන 4 කි. මේවා ලියවැල් හා සිංහරූප වලින් අලංකාරවත් වී ඇත. 
මේ ආසන වල සමාධි ප්‍රතිමා තැන්පත් කොට තිබෙන්නට ඇති අතර අද ද එක් සමාධි ප්‍රතිමාවක් ශේෂව පවතී.

එමෙන්ම වටදාගේට දකුණින් හා බටහිරින් ඔත්පිළිම ගෙයක හා හිටිපිළිම ගෙයක නටඹුන් ද හමු වී ඇත.

තිරියාය සෙල් ලිපියට දකුණු දෙසින් ගල පළාගෙන මතු වූ ඇල්දිය උල්පතකි. මෙය රහතන්වහන්සේලා හා භාවනායෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා නිමවා ඇති බව පෙනේ. 
එමෙන්ම මෙහි ඉදිකොට ඇති ලංකාපොකුණ ද අපූර්ව නිර්මාණයකි.
ලංකාවේ හැඩයට නිමවා ඇති මෙම පොකුණට ඇතුළු වීමට දොරටුවක් සහිත ප්‍රාකාරයක් ගලින්ම නිමවා ඇත.
බුදුදහම ලක්දිවට පැමිණීමෙන් පසු මෙම පුදබිමේ ගල්ලෙන් කටාරම් කොටා බ්‍රාහ්මී ලිපි පිහිටුවා මහා සඟරුවනට පුද කිරීමෙන් අනතුරුව වන්දනාමාන කිරීමට විවෘත විය.
පසු කාලයේ මෙහි විවිධ විහාරාංග ඉදිකළ අතර මේ සඳහා විවිධ රජවරු දායකත්වය දැක්වූ බවට ඓතිහාසික සාධක රාශියකි.
මෙම ඓතිහාසික පුදබිම කාලාන්තරයක් වනයෙන් වැසී තිබී පූජ්‍ය ගන්දර ධර්මකීර්ති ශ්‍රී ආනන්ද ස්වාමීන්වහන්සේගේ ධෛර්යය නිසා 1929 දී පමණ යළි එළිපෙහෙළි වී දියුණු විය.
1985 න් පසුව දෙමළ කොටි සංවිධානය විසින් එම ස්ථානයේ මෑත ඉදිකිරීම් විනාශ කරන ලද අතර අද වන විට මෙම පුදබිම මහජනතාවට වන්දනාමාන කරගැනීම සඳහා විවෘතව පවතී.
 

 



Saturday, October 17, 2015

සිරිසඟබෝ රජු මහා දාන පාරමිතා පිරූ හස්තිකුච්ඡි විහාරය



  
සිහලවත්ථුවේ ඇත්කුස විහාරය නමින්ද සෙල්ලිපි වල අතිකු(චි)ය විහාරය නමින්ද විසිද්ධිමගෙහි හස්ථිකුච්චි විහාරය නමින්ද,හත්ථවනගල්ල විහාර වංශයේ හත්තවනගල්ල නමින්ද සදහන් වන හස්තිකුච්ඡි විහාරය ශ්‍රී ලාංකේය ශාසන ඉතිහාසයේ ඉතා වැදගත් සංධිස්ථානයක් සටහන් කළ වන්දනීය වූ පූජා භූමියකි.

සියවස් කිහිපයක් පුරා දිවෙන ඉතිහාසයකට උරුමකම් කියන හස්තිකුච්ඡි විහාරය ක්‍රි.පූ. 3 සියවසේ සිට ක්‍රි.ව. 9 සියවස දක්වා වූ දීර්ඝ කාල පරාසයකට අයත් වූ සෙල්ලිපි එකම ස්ථානයකින් හමු වූ ලංකාවේ එකම පූජා භූමියද වේ.

අක්කර 300 පමණ පුළුල් වපසරියක් පුරා විහිදී යන මෙම වන සෙනසුන හා බැඳුණු පුරාවෘත්ත මෙන්ම ඉතිහාසගත කරුණු රාශියකි.


ක්‍රි.ව. පළමුවන සියවසේ ලියන ලද සහස්සවත්ථූපකරණයේ හස්තිකුච්ඡි වන සෙනසුනට පැමිණි සද්ධාතිස්ස රජතුමාගේ බෑනණුවෙක් වූ ඵුස්සදේව කුමරා එහි වූ චෛත්‍යයකට මහා පූජාවක් පවත්වා පූජා භූමියේ වූ ලෙන්, ආසනඝර ආදිය පිළිබඳ ඉතා පැහැදීමට පත්ව එහි විසූ මහාදේව භික්ෂූන් වහන්සේ යටතේ සසුන්ගතව රහත් වූ බව සදහන්ව තිබේ . මින් පෙනීයන්නේ මෙම වන සෙනසුන රහතන් වහන්සේලාගේ පහසින් පවිත්‍ර වූ පුණ්‍යභූමියක් බවය.

එමෙන්ම විශුද්ධිමග්ග ලියූ බුද්ධඝෝෂ හිමියන්ද මෙම හස්තිකුච්ඡි විහාරය රහතුන් වහන්සේලා වැඩ විසූ ස්ථානයක් බවත්, එකල රටවැසියන්ගේ මහා ගෞරවාදරයට ලක් වූ ස්ථානයක් බවත් සදහන් කර ඇත.

මින් පෙනී යන්නේ හස්තිකුච්ඡි විහාරය ලක්දිව බුදුසසුන ස්ථාපිත වූ මුල් යුගයේ සිටම පැවති පුණ්‍යභූමියක් බවය.




හස්තිකුච්ඡි විහාරය හා සම්බන්ධ ඵෙතිහාසික තොරතුරු මෙන්ම ජනප්‍රවාදයන්ද බොහෝය.

ක්‍රි.ව.247 දී ලංකාවේ රාජ්‍යත්වයට පත් ශ්‍රී සංඝබෝධි හෙවත් සිරිසඟබෝ රජු මහා දාන පාරමිතා පිරූ ස්ථානය ලෙසත් හස්තිකුච්ඡි විහාරය සළකනු ලැබේ.

සිරිසඟබෝ රජු හිස දන් දුන් ස්ථානය පිළිබඳ විවිධ මත පළ වුවද ‍ඵෙතිහාසික සිද්ධීන් සලකා බලන කල එය හස්තිකුච්ඡි විහාරයම බව බොහෝ විද්වතුන්ගේ මතයයි.


සිරිසඟබෝ රජු රාජ්‍යත්වයට පත්වූ ආකාරය පිළිබඳ රසවත් ජනප්‍රවාදයක් ද වේ.

ක්‍රි.ව.242 රජ පැමිණි විජය කුමාර් හෙවත් විජයිදු රජුගේ රාජ සේවයට යම්න් සිටි සංඝතිස්ස, සංඝබෝධි හා ගෝඨාභය යන ලම්බකර්ණ වංශිකයන් තිදෙනාගේ අඩි ශබ්දය ඇසුණු තිසාවැව පාමුල සිටි අන්ධ අනාවැකි කියන්නෙක් එම පියවර හඬ විමසා බලා" දැන් මේ ගිය තිදෙනාම ලංකාවේ රජ වන්නේය"යැයි ප්‍රකාශ කළේලු. එම ප්‍රකාශය ඇසුණු ගෝඨාභය ආපසු හැරී අන්ධ අනාවැකිකරුවා වෙත ගොස් විස්තර විමසීමේදී තිදෙනාගෙන් අවසානයට රජවන අය වැඩි කාලයක් රාජ්‍යත්වය දරණ බව පැවසුවේලු.

මෙය දැඩිව සිතට ගත් ගෝඨාභය විජයිදු රජු මරා සංඝතිස්සට රජකම ලබා දුන්නේය. වසර 4 ක් රජ කළ සංඝතිස්ස රජු දැඩි ලෙස ජම්බු කෑමට ලොල්වූවෙකු වූ අතර ප්‍රදේශවාසීන් විසින් ජම්බු වලට වස දමා දීමෙන් මරණයට පත් විය.

මීලඟට රජකම හිමි වූ සංඝබෝධි හෙවත් සිරිසඟබෝ ඉතා සංවේදී රජකෙනෙකු විය. මෙතුමාගේ දැහැමි පාලනය නිසා රටවැසියන් ඔහුට මහත් සේ ඇළුම් කළ අතර මේ හේතුව නිසාම තමාට රජවිය නොහැකි වේදෝයි බිය වූ ගෝඨාභය රජුට විරුද්ධව කැරැලි ගැසුවේය.

සටනකින් සිදුවිය හැකි මිනිස් සංහාරය වළකනු සඳහා රජකම අතහැරි සිරිසඟබෝ රජතුමා පෙරහන්කඩ පමණක් අතැතිව මාළිගයෙන් පිට විය.

රජකම ලැබීත් සෑහීමකට පත් නොවූ ගෝඨාභය රජු සිරිසඟබෝ රජුගේ හිස රැගෙන එන්නෙකුට ත්‍යාගයක් පිරිනමන බව දැන්වූ අතර මිනිසුන් සිරිසඟබෝ රජුගේ හිස යැයි කියා වෙනත් මිනිසුන්ගේ හිස් රැගෙන යන බව දුගියෙකුගෙන් දැනගන්නා සිරිසඟබෝ රජු එම දුගියාට හිස දන් දුන් බවත් එම හිස දන් දුන් ස්ථානය හස්තිකුච්ඡි විහාරය බවත් බොහෝ විද්වත්හු පවසති.


එමෙන්ම මෙම සිද්ධියෙන් කම්පාවට පත් ගෝඨාභය රජු හිස දන්දුන් ස්ථානයේ විහාරයක් කරවූ බව මහාවංශයේ මෙන්ම දීපවංශයේද සඳහන් වෙයි. එම හිස දන් දුන් ස්ථානය ඉසුරුමුණි විහාරයට දකුණු දිශාවේ වූ ස්ථානයක් බව මහාවංශ ටීකාවේ සඳහන්ය.

එම ස්ථානය හස්තිකුච්ඡි විහාරය පිහිටි ස්ථානය බව විද්වත්හු ප්‍රකාශ කරති.

අනුරාධපුරයේ සිට හස්තිකුච්ඡි විහාරයට සැතපුම් 13 ක් පමණ ඇති අතර අනුරාධපුරයේ දකුණු දොරටුවේ සිට තඹුත්තේගම හරහා රාජාංගනයේ හස්තිකුච්ඡි විහාරය දක්වා ඇති පාර අදද හඳුන්වනුයේ "රාජා ගිය පාර" යනුවෙනි. එසේ ප්‍රකාශ කරණුයේ සිරිසඟබෝ රජු රජකම අතහැර ගිය පාර නිසා බව ජනතාවගේ විශ්වාසයයි.


මේ ජන විශ්වාසය කෙසේ වූවද හස්තිකුච්ඡි විහාරය යනු ශ්‍රී ලාංකික ශාසන ඉතිහාසයට, පුරාවිද්‍යාවට මෙන්ම වාස්තු හා ගෘහනිර්මාණ ශිල්පයට වැදගත් වන පුදබිමකි.

ක්‍රි.පූ.3 වන සියවසේ සිට ක්‍රි.ව.9 වන සියවස දක්වා වූ කාල පරාසයකට අයත් සෙල්ලිපි මේ දක්වාම මෙම පුදබිමේ ශේෂව පවතී. මේ අතර සාමාන්‍ය සෙල්ලිපි මෙන්ම වරහළ ලිපි රැසක්ද මේ වන විට සොයාගෙන තිබේ. වරහළ ලිපි යනු විහාර සලාක පිළිබඳ ලියැවී ඇති සෙල්ලිපි වේ. මෙවැනි වරහළ ලිපි රැසක්ම පරිවර්තනය කොට ඇත.

පොහොය ගෙයක්, බුදු මැදුරක්, තෙමහල් ධාතු මන්දීරයක්, වටදාගෙයක්, චෛත්‍යය 8 ක් හා දාන ශාලාවක්, මුල් යුගයේ ලියවුණු සෙල් ලිපි විශාල සංඛ්‍යාවක් අදටත් මෙහි නටඹුන් ලෙස දක්නට ලැබේ.

  
"අස අවරිය සිරස" යනුවෙන් සටහන් කොට ඇති ගල් පුවරුවක් හස්තිකුච්ඡි විහාරයේ නටඹුන් අතර දක්නට ඇත. මෙය පිහිටුවා ඇත්තේ සිරිසඟබෝ රජුගේ හිස ආදාහනය කර ගොඩනගා ඇති, වටදාගෙය සහිත ස්ථුපය ආසන්නයේ බැවින් "සිරිසඟබෝ රජුගේ හිස ආදාහනය කළ තැන මෙතැන විය හැක" යනුවෙන් හස්තිකුච්ඡි විහාරවංශය ග්‍රන්ථයේ නොච්චියාගම සෝමානන්ද හිමි සඳහන් කරයි.
 
පැරණි මුරගල් හා සදකඩපහණ, කොරවක්ගල් හා සිරිපතුල් ආදියද මෙහි දක්නට ලැබේ.
 
මෙහි ඇති විශේෂතම නිර්මාණය වන්නේ අත්තනගල්ල වටදාගෙයයි. මෙය ගල්කුලක් පාදමේ ඉතා දැකුම්කලු ලෙස නිර්මාණය කර ඇති චෛත්‍යයක් වටා ඉදිකර ඇති අතර එහි අවට තේවා මණ්ඩප මෙන්ම පොකුණුද දක්නට ලැබේ.

මෙහි ස්වාභාවික ලෙන්කුටි විශාල ප්‍රමාණයක් දක්නට ඇති අතර කටාරම් සහිත පූජා ලිපි ආදියද දක්නට ලැබේ.


මෙම විහාරයේ චෛත්‍යයට බටහිර කොටස පැරණි හස්තිකුච්ඡි විහාරය ලෙසත් නැගෙනහිර කොටස ගෝඨාභය රජතුමා විසින් කරවූ අභයාරාමය ලෙසත් හදුනාගෙන ඇත. මෙහි සෙල්ලිපි හා නටඹුන් වලට අනුව අභයාරාමය ගෝඨාභය රජතුමා හා ඉන් පසු රජවරුන් විසින් කරවූ ගොඩනැගිලි වල නටඹුන් බවට හදුනාගෙන ඇත.මෙය "තිබිරිවැව" සෙල්ලිපියෙන් වඩාත් තහවුරු වේ.


ජනප්‍රවාද හා ජනශ්‍රැති කෙසේ වුවද මෙම හස්තිකුච්ඡි පුදබිම ඵෙතිහාසික, පුරාවිද්‍යාත්මක මෙන්ම වාස්තුවිද්‍යාත්මක වටිනාකම් සහිත පින් බිමකි.

දැනට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ ඇති හස්තිකුච්ඡි වන සෙනසුන ශ්‍රී ලාංකික සැදැහැවතුන්ට, ඉතිහාසඥයන්ට මෙන්ම පුරාවිද්‍යාඥයන්ටද වටිනාකම් රැසක් සහිත පූජා භූමියකි.

පුරාවිද්‍යාත්මක නිශ්චිත ලිඛිත සාක්ෂි නොමැති වුවද හස්තිකුච්ඡි වන සෙනසුන ලාංකේය රාජ්‍ය ඉතිහාසයේ අවිහිංසාවාදීම රාජ්‍ය නායකයා වූ සිරිසඟබෝ රජුගේ පා පහසින් පින්වත් වූ පින්බිමක් වූ බව නම් නොවනුමානය.