Wednesday, March 23, 2016

බ්‍රිතාන්‍ය රාජකීයයෙකුගේ සිහින මාළිගාව- ඇඩිසම් මන්දීරය..........


ර්ෂ 1815 දී මුළු තුන් සිංහලයම යටත් කොට ගෙන සිය ධජය ලක් බිම මත ලෙළවූ බ්‍රිතාන්‍යයයින් විසින් ගොඩනැගූ නිර්මාණ හා ස්මාරක අදටත් මේ ධරණිතලය තුළ විරාජමාන වන්නේ වසර 133ක් වූ බ්‍රිතාන්‍යය යටත්විජිත පාලන සමය යළි යළිත් මෙනෙහි කරවමිනි .
හපුතලේ නගරයට ආසන්නයේ ග්ලැනෝර් වතුයායට නුදුරුව තංගමලේ අභය භූමිය මධ්‍යයේ විරාජමාන වන, ප්‍රදේශවාසීන් "ගල් බංගලාව " නමින් හදුන්වන "ඇඩිසම් මන්දීරය " එවන් වූ ඵෛතිහාසික කාල පරිච්ඡේදයක් අදටත් ප්‍රතිනිර්මාණය කරන්නකි.
දෙවරක් එංගලන්තයේ අගමැති ධූරයට පත් ජෝන් රසල්ගේ මුණුබුරු වන තෝමස් ලිස්ටර් විලර්ස් තරුණයා ලංකාවට ගොඩබසින්නේ සුන්දර හපූතලේ භූමියේ සිහින මාලිගාවක් ගොඩ නැගීමට නොව බොගවන්තලාව ඵල්ලබැද්ද වතුයායේ ආධුනික වතුපාලකවරයා ලෙස සිය ප්‍රථම රැකියාව ඇරඹීමටය.

 සර් තෝමස් ලිස්ටර් විලර්ස්

1896 බ්‍රිතාන්‍යයේ ස්කොට්ලන්තයේ කෙන්ට් ප්‍රාන්තයේ ඇඩිසම් නම් කුඩා නගරයේදී උපත ලබන තෝමස් ලිස්ටර් විලර්ස්ගේ පියා හෙන්රි මොන්ටේගු නම් දෙව්ගැතිවරයා වන අතර , මව දෙවරක් එංගලන්තයේ අගමැති බවට පත්වූ ජෝන් රසල්ගේ මිනිබිරිය වූ වික්ටෝරියා රසල් නම් රාජකීය කාන්තාවයි.

උපතින්ම රාජකීයෙකු වූ තෝමස් ලිස්ටර් පසු කලෙක එංගලන්තයේ අටවන තැනට පත් ධනකුවේරයා බවටද නම් කරනු ලබනවා.
1896 දී එවන්ලී හෝප් වෝකර් මෙනෙවිය සමග විවාහ වන ලිස්ටර් 1929 දී ජෝර්ජ් ස්ටූවර්ට් සමාගමේ සභාපතිවරයා බවට පත්වන අතර සුන්දර තංගමලේ අභයභූමිය මධ්‍යයේ වතුයායක් මිලදී ගනු ලබනුයේ සිය සිහින මාළිගය ඉදිකිරීමේ බලාපොරොත්තුවෙනි.
ආර්. බොත් සහ එෆ්. වෙබ්ස්ටර් යන සුප්‍රසිද්ධ ගෘහ නිර්මාණශිල්පීන් දෙදෙනා විසින් නිර්මාණයකරණ ලද මෙම මන්දීරයේ ඉදිකිරීම් 1929 දී ආරම්භ කරන ලද අතර එහි සියලු ඉදිකිරීම් 1931දී අවසන් කරණ ලදී.
අයර්ලන්ත ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ගොඩනගන ලද මේ මන්දීරයේ බිත්ති සම්පුර්ණයෙන්ම කළුගලින් නිර්මාණය කොට ඇත.

මෙම මන්දීරය ඉදිකිරීමේ ඇති විශේෂත්වය වන්නේ දශක ගණනාවකට ඉහත දුෂ්කර ප්‍රවාහන පහසුකම් තිබූ යුගයක මෙම මැදුර ගොඩනැගීමට අවශ්‍යය සියලු ගොඩනැගිලි ද්‍රව්‍ය එංගලන්තයෙන් ප්‍රවාහනය කිරිමයි.
ඉන්දීය පෙදරේරුවන් යොදාගෙන ගොඩනගන ලද මෙම මන්දීරයේ ඇති සුවිශේෂීම නිර්මාණය වන්නේ වහලය යි.
බුරුම තේක්ක වලින් සෑදු උළු විශේෂයක් භාවිතා කර ඇති මෙහි වහලය ටියුඩර්- ජැක්ඩීන් ගෘහ නිර්මාණ කලාවට අනුව නිර්මාණය වූවකි.

මෙම තේක්ක වහලය මධ්‍ය කදුකරයට නිතර කඩාහැලෙන වර්ෂාවෙන් හා අව්වෙන් කිසිදු හානියකට ලක් නොවී දශක ගණනාවක්ම ආරක්ෂිතව පැවතීමද විස්මයකි.

මෙම වහලයේ ආරක්ෂාව සදහා වසර දෙකකට වරක් විශේෂිත වූ තෙල් වර්ගයක් ආලේප කරණු ලබන අතර එය අද දක්වාම අඛණ්ඩව සිදු කරණු ලබන්නකි.
මහල් දෙකකින් යුතු මෙම මන්දීරය කාමර 25 කින් සමන්විත වන අතර ඉන් කාමර 12 ක් ඉහළ මාලයේ නිර්මාණය කර ඇත. සෑම කාමරයක්ම උණුසුම් කිරීම සදහා ගල් අඟුරු උදුන් නිර්මාණය කර ඇති අතර ඒවායෙහි අළු පිටවීම සදහා විශේෂ භ්‍රමණාකාර කවුළු සහිත කුළුණු හයක් වහලය මත ඉදිකොට තිබේ.




අති සුඛෝපභෝගී පහසුකම් සහිතව ගොඩනගා ඇති මෙම මැදුරෙහි කාමර වලට උණුවතුර සැපයීම සදහාම විශාල බොයිලේරුවක් සහිත කාමරයක්ද ඉදිකොට ඇත.
කලාත්මක හා පෞරාණික බවට මුල්තැන දී නිර්මාණය කොට ඇති මෙම මන්දීරයේ ඇතුළත විවිධ ස්ථානවල හා සිවිලිමේ, තේක්ක ලීයෙන් කළ විවිධ කැටයම්ද නිර්මාණය කොට ඇත.

එමෙන්ම බොහෝ ඉදිකිරීම් බුරුම තේක්ක යොදාගෙන කර ඇති අතර උළුවහු , වහල, සිවිලිම, බිම තේක්ක වලින්ම නිර්මාණය කර ඇත. සිවිලිමෙහි කැටයම් වලට පමණක් ප්ලාස්ටර් පැරිස් යොදාගෙන ඇත.
ජනෙල්, පඩිපෙළවල්, දොරපළු ආදියද බුරුම තේක්කයෙන්ම ඉදිකොට ඇති මෙහි ඇතුළත ඇති සියලුම ගෘහභාණ්ඩ එංගලන්තයෙන් ගෙන්වන ලද ඒවා වන අතර පාපිසි, වීදුරුබඩු, පිඟන් ආදී භාණ්ඩද එංගලන්තයෙන්ම ගෙන්වන ලද ඒවායි.
ඇඩිසම් නම් සිය උපන් ගම සිහිවීම පිණිස මෙයට "ඇඩිසම් බංගලාව" ලෙස නම් තැබූ ලිස්ටර් විලර්ස් 1931 දී සිය බිරිඳ සමග මෙහි පදිංචියට පැමිණියේය.


පුරා දශක දෙකක් ලිස්ටර් විලර්ස් සිය පුද්ගලික නිවහන ලෙස භාවිතා කරණු ලැබූවේ මෙයයි.
ඇඩිසම් මන්දීරයේ අමුත්තන් සදහා වෙන්වූ පහළ මාලයේ ආලින්දයේ විලර්ස් සාමාජිකයන්ගේ පොත්පත් සහිත පෞරාණික ගෘහභාණ්ඩ අදටත් දක්නට ලැබෙන අතර සුප්‍රසිද්ධ චිත්‍ර ශිල්පී ඩේවිඩ් පේන්ටර් විසින් අඳින ලද තෝමස් ලිස්ටර් විලර්ස් මහතාගේ ආලේඛ්‍ය චිත්‍රයක්ද දක්නට ලැබේ.



එමෙන්ම දක්ෂ චිත්‍ර ශිල්පිනියක වූ විලර්ස් මහතාගේ බිරිඳ විසින් අඳින ලද කඳුකර ප්‍රදේශයේ විවිධ, විචිත්‍රවත් ස්ථාන වල දර්ශන පිළිබිඹු කරන දර්ශනීය චිත්‍රද මෙම මන්දිරයේ සෑම ස්ථානයකම දක්නට ඇත.



ඇඩිසම් මන්දීරයේ අවට අක්කර 15 ක භූමි භාගය තුළ බ්‍රිතාන්‍යයට ආවේණික විවිධ පලතුරු සහිත
උයනක් නිර්මාණය කොට ඇත්තේ මෙම මැදුරට බ්‍රිතාන්‍යය පරිසරයේ පසුබිමක් ලබාදීමේ අරමුණෙනි.
1948 දී ලංකාවට සමුදී එංගලන්තය බලා නැව් නගින සර් තෝමස් ලිස්ටර් විලර්ස් දශක දෙකකට ආසන්න කාලයක් සිය සිහින නිවහන වූ ඇඩිසම් මන්දීරය රුක්මණී බෙලිගම්මන මැතිණියට විකුණා දමන අතර 1851 අප්‍රේල් මාසයේදී සේදවත්ත සමාගම විසින් මිලදී ගනු ලැබිණ.
පසුකලෙක විමලා විජේවර්ධන මැතිණිය විසින් මිලදී ගන්නා ලද ඇඩිසම් බංගලාව ඇය විසින්ම 1962 දී රෝමානු කතෝලික සභාවට විකුණා දමන ලදී.



වර්තමානය වන විට මෙම ඇඩිසම් මන්දීරය සාන්ත බෙනඩික්ට් තාපසාරාමය ලෙස හඳුන්වන අතර පූජකවරුන් පුහුණු කිරීමේ හා දැනුම සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යනු ලැබේ.
සියලු දේ අනිත්‍ය යැයි ලෝකයට පසක් කරමින් අති සුඛෝපභෝගී මහා මන්දීරයක් ලෝකයට දායාද කළ සර් තෝමස් ලිස්ටර් විලර්ස් සිය සිහින මාළිගාවට සැතපුම් දහස් ගණනක් දුරින්, 1959 දෙසැම්බර් 21 දා එංගලන්තයේදී අවසන් ගමන ගියේය.
"යාච්ඤාව හා වැඩ කිරීම "යන ශුද්ධවූ බෙනඩික්ට් තුමාගේ ආදර්ශ පාඨය පෙරදැරි කොටගත් මග යමින් තංගමලේ අභයභූමිය මධ්‍යයේ මනස්කාන්ත දර්ශනයක් මවමින් ප්‍රතාපවත් ඇඩිසම් මන්දීරය අදත් විරාජමාන වේ.













18 comments:

  1. A very informative post!Learnt a lot .Thank you.

    ReplyDelete
  2. යන්න සහ බලන්න ලස්සන තැනක්..... පහුගිය ටිකේ කීප පාරක් ම ගියා. උදේම සහ හවස් වෙන කොට මිදුම තදට තිබිය හැකියි. මේ දවස්වල නම් සීතල අඩුනිසා මීදුම් තත්වය අඩුවිය හැකියි. කොහොම වුණත් හපුතලේ හරහා යන කෙනෙකුට පහසුවෙන් ම නැරඹිය හැකි තැනක්. හපුතලේ වැලිමඩ බස්රථයේ වුවත් ගොස් මේ අසලින් බහින්නට හැකියි.

    තමන්ගේ වාහනයක යන පිරිසකට හපුතලේ නැරඹිය හැකි අනෙක් තැන් තමා ලිප්ටන්සීට් (කන්ද උඩට ගිය විට අවට පරිසරය ඉතා සුන්දරව පේන තැනක්) සහ දඹේතැන්න තේ කර්මාන්ත ශාලාව (මේක තියෙන්නේ ලිප්ටන්සීට් යන පාරේ) හපුතලෙන් ගිහින් බණ්ඩාරවෙලට බහින්නට වුණත් පාරවල් තියෙනවා. ඒත් වතු පාරවල් නිසා පාර පටුයි... හැබැයි ලස්සනයි.......

    ReplyDelete
  3. වටිනා තොරතුරු රැසක්.

    ReplyDelete
    Replies
    1. ගිහිං බලන්න වටිනම තැනක්.

      Delete
  4. ලස්සන විස්තරයක් වගේම වටිනා සටහනක්. මේක කියෙවුවම බලන්න යන්න ආස හිතුනා.

    ReplyDelete
    Replies
    1. මේ ආශාව ඉක්මනින්ම ඉටු වේවා.

      Delete
  5. ඇඩිසම් බංගලාව .... අපේ සොඳුරු මතක රැසක් තියෙන තැනක්...

    ReplyDelete
    Replies
    1. ඒ මතකයන් සැමදා පවතී නේද ?

      Delete
  6. පිටුපසින් ඇති ලස්සන කැලෑවේ ඇවිදින්නත් පුලුවන්.

    ReplyDelete
    Replies
    1. ඒ ගැන කලින් දැනන් හිටිය නං ඇවිදින්න යන්නත් තිබුණ.

      Delete
  7. නියමයි.
    මම තුන්පාරක් විතර ගේට්ටුව ගාවට ගිහිල්ල ආපහු ආව. තාම ‍ඇතුලට යන්න ලැබුනෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ඇයි මූණ දැක්කම ඇතුළට වද්ද ගත්තෙ නැද්ද?

      Delete
  8. කීපවාරයක් මෙතනට ගිහින් තියනවා..සර් තෝමස් ලිස්ටර් විලර්ස් ගෙ චිත්‍රයේ තියන විශේෂත්ව්‍ය ගැනත් ලියවුනානම් හොඳයි.. අද්‍යාපනික වටිනාකමක් තියන මේ බ්ලොග් අඩවියෙන් විශේෂයෙන්ම පාසල් දරුවන්ට හුඟක් ප්‍රයෝජන වෙයි කියල හිතනවා ....

    ReplyDelete
    Replies
    1. මගේ එක පරමාර්ථයක් තමයි සමාජයට අධ්‍යාපනික වටිනාකමක් ඇති තොරතුරු ලබා දීම.
      සර් තෝමස් ලිස්ටර් විලර්ස්ගෙ චිත්‍රයේ තියන විශේෂත්වය නම් එම ආලේඛ්‍ය සුප්‍රසිද්ධ චිත්‍ර ශිල්පී ඩේවිඩ් පේන්ටර් විසින් අඳින ලද්දක් වීමයි.
      මීට අමතර ඔබ දන්නා තොරතුරක් තිබේ නම් අපව දැනුම්වත් කරන්නේ නම් අගෙයි.

      Delete
  9. දෙතුන් වතාවක් ගිහිං තිබුණත් මේ වගේ තොරතුරු දැනන් උන්නෙ නෑ.
    විස්තර පෙළ ගැස්වීම හරිම ක්‍රමවත්. මේ සතියෙ "ඉරුදින" පවන අතිරේකයේ සාකච්ඡාවේදි කියල තියෙනව දැක්ක මීළඟට යුදගනාව ගැන ලියනව කියල. ඒක කියවන්න බලං ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. පාසලේ පළමු වාරාවසාන විභාගයේ පිළිතුරු පත්‍ර කන්දකට යට වෙලා ඉන්න නිසා ඒකෙන් ගොඩ ආපු ගමන් යුදගනාව ගැන ලියනවා.

      Delete