Monday, August 22, 2016

ධවල අස්රුව මැදිකොට දිදුලන මහා දෙවොල - තනිවැල්ලේ දේවාලය


ලක් ඉතිහාසය තුළ රජුන් දෙවියන් වූ අවස්ථාවන් කිහිපයක් ගැන විවිධ  මූලාශ්‍රයන් සාක්ෂි  දරයි.

රජෙකු මියගිය පසු දේවත්වයට පත්වනුයේ ඔහු  විසින්  තම පාලිතයන්ගේ  ජීවිතය සුඛිතමුදිත  කිරීම  සදහා කළ උදාර වාරි හා කෘෂිකාර්මික  සංවර්ධනයන් නිසා පමණක් නොව, එම නරපතියන් සතුව තිබූ මානව දයාවන්තභාවයත් නිසාය.

රාජ්‍යත්වයෙන් පසු දේවත්වයට පත් එවන් වූ  ප්‍රාදේශීය නරවරයෙකු වන්දනා කිරීම  සඳහා  ඉදිකළ පුත්තලම්  දිස්ත්‍රික්කයේ  පිහිටි සුප්‍රසිද්ධ  දෙවොලකි,  තනිවැල්ලේ දේවාලය.


කෝට්ටේ රාජධානියේ  රජ කළ  VIII පරාක්‍රමබාහු  හෙවත් වීර පරාක්‍රමබාහු  රජුගේ  දෙවෙනි බිසවකගේ පුත්‍රයෙකු වූ තනියවල්ලභ කුමරු  කෝට්ටේ  රාජධානියේ  පාලනයට අතිශයින්ම සහය වූ ප්‍රබල යුවරජෙකු බව පූජාවලිය සඳහන්  කරයි.

මේ යුගය වනවිට කෝට්ටේ  රාජධානියට ආදායම්  ලැබෙන ප්‍රධාන  බල ප්‍රදේශයක් ලෙස සලාවත මාදම්පා ප්‍රදේශය  සලකන ලද බව පෙනේ.
ඇත්දළ, මුතු සහ සහල් සඳහා  වෙළෙඳ  මධ්‍යස්ථානයක්  ලෙසද මෙම ප්‍රදේශය  සලකන ලදී. ඒ අනුව  බලන කළ මාදම්පා  ප්‍රදේශය  ප්‍රබල ප්‍රාදේශීය  රාජ්‍යක් ලෙස පැවතුණ බව පෙනේ.

ඉංදියාවට බොහෝ  ආසන්න වීම නිසා දකුණු  ඉංදීය ආක්‍රමණකාරී කණ්ඩායම්  මෙන්ම කොල්ලකරුවන්ද නිරන්තරයෙන්  මේ ප්‍රදේශවලට අවතීර්ණ  විය.
මේ කරුණු  හේතු කොටගෙන සලාවත මාදම්පා ප්‍රදේශයට ප්‍රබල පාලකයෙකුගේ මෙහෙයවීම අත්‍යවශ්‍ය  වූ බව සූර වීර නරපතියෙකු වූ තනියවල්ලභ  රජුන්ට මේ ප්‍රදේශයේ පාලනය බාර දීමෙන්ම පෙනී යයි.


රාජාවලියට අනුව තනියවල්ලභ  යනු අතිශූර  රණශූරයෙකි.

තනියවල්ලභ  රජු අතිශයින්ම  කරුණාවන්ත  ඉතා කාර්යශූර පුද්ගලයෙකු බව මූලාශ්‍ර වල සදහන්  වේ.

නිරන්තරයෙන්ම  සුදු ජටාවක් බැඳ සුදු අශ්වයෙකු පිට නැඟී  මාදම්පා  ප්‍රදේශයේ කෙත්වතු හරහා එතුමා  විදුලි  වේගයෙන්  ගමන්  කරුණු  ලැබූ  බව  පැරණි  ගම්වාසීන්ගේ  මතයයි .

ප්‍රදේශයේ  කෘෂිකර්මාන්තයට  අනගි සේවයක් කළ තනියවල්ලභ  රජු කුඩා වැව් කිහිපයක්ම  තනවන ලද බව මූලාශ්‍ර වල සඳහන්  වේ.

අදටත් මෙම ප්‍රදේශයේ  ජනයා  කෘෂිකර්මාන්තයේ  යෙදෙන්නේ  මෙම වැව්  ජලය ප්‍රයෝජනයට  ගනිමිනි .


තනියවල්ලභ  රජුගේ මරණය සිදුවූ ආකාරය පිළිබඳ  විවිධ  මතයන් ඇතත්  මෙම ප්‍රදේශයේ  ජනී ජනයා විශ්වාස කරනු ලබන අනුවේදනීය  ජනප්‍රවාදයක්ද වේ.

මුක්කර්වරු සමඟ අවසාන මහා සටනට යාමට ප්‍රථම  සිය රාජ්‍ය කටයුතු  තම අගමැතිට පැවරූ රජු සටනට පිටත් විය.

තනියවල්ලභ  රජුගේ  බිසව අතිශයින්ම  සුරූපී  කාන්තාවකි.
දුටුවන් වශීකරවන  රූපශ්‍රීයෙන් යුතු ඇයව ජනප්‍රවාදයේ වර්ණනා  කරන්නේ මෙසේය.

පසිදු තනියවල්ලභ  බිසවගෙ රුසි                       රූ
මුහුදු  තරණ කරනට හැකිවෙයි කවු                    රූ
සුමුදු  ඉතිරි ගුණයෙන් පිරිපුන් මහ                      රූ
පුරුදු  කවි ඇසට ඇස පෙනෙනුයෙ මෙ අයු         රූ

බිසව පිළිබඳව කලෙක පටන් සිත් ඇතිව සිටි  මහ ඇමති  කල්යල් බලා අයුතු  යෝජනාවක්  කළ අතර එය නොපිළිගත් බිසව රජු ආපසු පැමිණි  පසු දඬුවම්  ලබා දේයැයි බිය වූ ඇමතිවරයා කුමන්ත්‍රණයක් කර රජතුමා  මියගියා යැයි දේවියට දැනගැනීමට  සැලැස්වූ අතර මෙය දැනගත්  බිසව අසල වූ  වැවට පැන දිවි තොර කරගත් බවත් සටන ජයගෙන ආපසු  පැමිණි  රජු මින් කම්පාවට  පත්ව අසල වූ ගං ඉවුරක සිය කඩුව සිටුවා එය උඩට පැන දිවිනසා ගත් බවත් පැවසේ.
රජු දිවිනසා  ගත් තැන වූ ඔයට මිනිසුන් අදද ව්‍යවහාර කරණුයේ කඩුහිටි ඔය නමිනි.

තනියවල්ලභ  රජුගේ මරණය  සම්බන්ධ  අනෙක් ජනප්‍රවාදය වනුයේ තනියවල්ලභ  රජුගේ දියණියගේ  පුත්‍රයා වූ "කෝට්ටේ ව්‍යාඝ්‍රයා" යනුවෙන් විරුදාවලිය  ලද සුප්‍රසිද්ධ  රණශූරයෙකු වූ වීදිය බණ්ඩාර  අතින් තනියවල්ලභ  රජු මියගිය  බව කියවෙන කතා පුවතය.

එවන් වූ තවත් කතා පුවතකින් කියවනුයේ රජු පෘතුගීසින් අතට පත්ව මියගිය බවය.

ජනකතා, ජනශ්‍රැති, ජනප්‍රවාද මෙන්ම ඉතිහාසඥ මතයන් කෙසේ වුවද  තනියවල්ලභ  රජුගේ  මරණින්  පසු ප්‍රදේශයේ  ජනයා ඔහු දේවත්වයෙන්  පිදූ බවට සුප්‍රසිද්ධ  මාදම්පා  තනිවැල්ල්‍ෙ  දේවාලය  සාක්ෂි  දරයි.

වත්මන් තනිවැල්ල්‍ෙ  දෙවොල කවදා  කවුරුත්  විසින්  ඉදිකරන  ලදදැයි තොරතුරු  සඳහන්  නොවුණද මෙම ස්ථානයෙහි පුරාණයේ පැවති මහා නුග වෘක්ෂයට, ප්‍රදේශය  හරහා ගියවුන්  නුග අත්තක් කඩා තනියවල්ලභ  දෙවියන්  නමට එල්ලූ බව පැවසේ.


පසුකලෙක  මෙම  ස්ථානයේ තනියවල්ලභ  දෙවියන් නමින්  දේවාලයක්  ඉදිකොට  ඇති  අතර  වර්තමානයේ  දර්ශනය  වන ආකාරයට ගොඩනගා ඇත්තේ 1845- 1850 කාලයේදීය.


මෙම දෙවොලහි ඇති  සුවිශේෂීම නිර්මාණය  වන්නේ  මෙහි  ඉදිකොට  ඇති  සුදු  අශ්වරුවයි. මෙය දේවාලය දෙසට දිවයන ආකාරය නිරූපනය  වන සේ නිම කොට ඇති  අතර තනියවල්ලභ  රජුගේ  සුදු  අශ්වයා මින්  සංකේතවත්  වන බව පෙනේ.


මෙම අශ්වරුව ඉදිකිරීම සම්බන්ධ  රසවත් කතා පුවතක්ද වේ.

දේවාලය  ඉදිරිපිටින්   අශ්වයන් දෙදෙනෙකු  සහිත සිය කරත්තයට නැගී මහා අහංකාරකමින් ගමන් කළ ධනවත්  හෙට්ටි මිනිසෙකු දේවාලය පසුකරන විටම අසුන් කරත්තයද සමඟ  අසල වූ  තිනිපිටි වැවට පැන්න බවත් ඉන් ඔහු තුවාල ලැබූ බවත් මහත් වෑයමෙන්  තුවාල සුවකර ගත් ඔහු නැවතත් ඒ අසලින්  ගමන් කරන විට පෙරමෙන්ම අසුන්  වැවට  පැන්න  බවත් එවර ඔහුගේ  දිවි අපහසුවෙන්  ගැලවුණ  බවත් තමා සුවවූ පසු දේවාලයට අශ්ව රුවක් ඔප්පු  කරන බවට භාරවූ බවත් සුවවී පැමිණි  හෙට්ටි  මිනිසා ලී වලින් අශ්වරුවක් සාදා දේවාලයට  පූජා  කළ බවත්  පැවසේ.

පසු  කලෙක  එම ලී අශ්වරුව  මැදිකොට වර්තමානයේ  පෙනෙන  අශ්වරුව  ගොඩනගා  ඇති බවත්  පැවසේ .

මේ කතාන්දර  කෙසේ වුවද විරුවෙකු  වෙනුවෙන්  ඔහු  සිහිපත්  කිරීමට  කාලයක්  තිස්සේ  ගොඩනැගුණු  පූජනීය  ස්ථානයක්  ලෙස තනිවැල්ලේ  දෙවොල සැලකිය  හැකිය.


මෙම දේවාලය  සම්බන්ධ අනෙක්  විශේෂිතම  කරුණ වන්නේ මෙම දෙවොලෙහි තේවා කටයුතු සිදුකිරීම සඳහා නිශ්චිත පරම්පරාවක් නම්කොට නොමැති වීම වන අතර, තේවා කටයුතු  සිදුකරනු  ලබනුයේ වැටුප් ලබන්නන් විසින් වීමය. වර්තමානයේ  තනිවැල්ලේ  දේවාලය භාරකාර  මණ්ඩලයක් මගින්  පාලනය  කරණු  ලැබේ .


සිරිලක නන්දෙසින්   බැතිමත්හු  දහස්ගණනින් ආශිර්වාද  ලබාගැනීමට  දිනපතා මෙහි පැමිණෙති .

අස්වනු කපාගන්නා සමයේ කුඹුරු  උඩින් රාත්‍රි  යාමයෙහි සුදු  අශ්වයෙකු  පිට නැඟී  තනියවල්ලභ  රජතුමා  ගමන්කරන්නේ යැයි ජනතාව විශ්වාස  කරන්නේ ඒ නිසා විය හැකිය.


සුන්දර කෙත්වතුයායක් මැද පරිසරය පිස එන සිහින් මද නල රැඳි රමණීය  බිමක සුදු අශ්වරුව  මැදිකොට සුවහසක් ජනී ජනයාගේ දුක, සතුට සමසිතින් දරාගෙන තනිවැල්ලේ දෙවොල ධවල පැහැයෙන් බබලමින් තිනිපිටි වැව අසබඩ  නැගී සිටී.







Sunday, June 19, 2016

හේවිසි හොරණෑ හඬ නැගෙන කතෝලික පුදබිම- වහකෝට්ටේ ශාන්ත අන්තෝනි දෙව්මැදුර




වහකෝට්ටේ, වාසල කෝට්ටේ හා වසකෝට්ටේ නමින් උඩරැටියන් හැඳින්වූ වහකෝට්ටේ ග්‍රාමය වර්තමානයේ ප්‍රසිද්ධියක් උසුලන්නේ සුප්‍රසිද්ධ ජන වන්දනා ස්ථානයක් වූ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානය නිසාය.

මෙම ග්‍රාමයට වහකෝට්ටේ නාමය ලැබීම හා සම්බන්ධ ජනප්‍රවාදයන් හා ජනශ්‍රැති කීපයකි.
 
තම සැමියාගේ මරණයෙන් කම්පනයට පත්වූ බිසවක් කොට්ටය යට තබාගත් වස බීමෙන් දිවි නසාගත් යන අරුතෙන් වසකෝට්ටේ හෙවත් වහකෝට්ටේ වූ බව එක් ජනප්‍රවාදයකි.

එසේම රජවාසලට ඇතුළු වීමේ දොරටුව හෙවත් ප්‍රධාන වාහල්කඩ පිහිටි ස්ථානය යන අරුතෙන් වාසලකෝට්ටේ නමින් හඳුන්වන බව අනෙක් ජනප්‍රවාදයයි.
 
ජනශ්‍රැති හා ජනප්‍රවාදයන් කෙසේ වුවද දුටුගැමුණු රජතුමා එළාර රජු පැරදවීමෙන් අනතුරුව ක්‍රි.පූ.164 දී වහකෝට්ටේ කුඩා බලකොටුවක් ඉදිකළ බවට ඉතිහාසගත මූලාශ්‍ර වල සඳහන් වේ.
 
මේ ආසන්නයේ ඇති පැරණි බලකොටුවක නටඹුන් ඵ් බවට සාක්ෂි දරයි. මෙවන් ඵෙතිහාසික භූමියක් කතෝලික ජනතාවගේ පුණ්‍ය භූමියක් වූ ආකාරය පිළිබඳ මෙහි වෙසෙන්නන් සිහිපත් කරනුයේ බොහෝ භක්ත්‍යාදරයෙනි.
 
1505 දී ලංකාවට පා තැබූ පෘතුගීසින් විසින් හඳුන්වා දුන් රෝමානු කතෝලික දහම ඔවුන්ගේ පාලනයට නතුවූ මුහුදුබඩ ප්‍රදේශයන්හි නිදහසේ ප්‍රචලිත විය.

1658 දී පෘතුගීසි පාලන ප්‍රදේශ යටත්කොට ගත් ලන්දේසීහු තමාගේ ප්‍රධාන සතුරු ආගම වූ රෝමානු කතෝලික දහම ඇදහීම තහනම් කළහ. කතෝලික දෙව්මැදුරු හා පූජ්‍යස්ථාන අල්ලා ගත් ලන්දේසීහු කතෝලිකයන් වූ පෘතුගීසින්ට බොහෝ හිරිහැර කළහ. ලන්දේසින්ගේ තාඩන පීඩන ඉවසාගත නොහැකි වූ බොහෝ පෘතුගීසීහු එවකට රජකල දෙවැනි රාජසිංහ රජුගේ කරුණාව පතා උඩරටට සංක්‍රමණය වූහ.

ඒ අනුව රට මැදට පැමිණි මොවුන්ව රජු විසින් රුවන්වැල්ල, සීතාවක , වෑවුඩ සහ වහකෝට්ටේ යන ප්‍රදේශ වල පදිංචි කරවූ බව රොබට් නොක්ස්ගේ ලංකා විස්තරය නම් ග්‍රන්ථයේ සදහන් වේ. පෘතුගීසින් පස් දෙනෙකු ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ හා දේව මාතාවන්ගේ සුරුවම් රැගෙන රජුගේ රැකවරණය පතා පැමිණි බවත් ඉන් තිදෙනෙකු ශාන්ත අන්තෝනි සුරුවම සමඟ රජුගේ අවසරයෙන් වහකෝට්ටේ පදිංචි වූ බවත් පැවසේ.  

මෙම ශාන්ත අන්තෝනි සුරුවම අදටත් මේ පුදබිෙම් 
වන්දනාමාන කරන්නන්ට දැකගත හැකිය. මෙම  හඳුන් ලී  සුරුවමේ විශේෂත්වය වන්නේ වෙනත් ශාන්ත අන්තෝනි පිළිරූ වල මෙන් මෙහි ජේසු බිළිදාගේ රුව නොමැති වීමය.

දෙවන රාජසිංහ රජුගේ මරණින් පසු රජ පැමිණි කීර්ති ශ්‍රී රාජසිංහ රජු කතෝලික විරෝධියකු විය. ඔහු උඩරට පදිංචිව සිටි පෘතුගීසින් ගම්මාන වලින් පළවා හැරිය බව ඉතිහාසගත මූලාශ්‍ර සදහන් කරයි.
 

මේ යුගයේදී වහකෝට්ටේ විසූ පෘතුගීසීහු ශාන්ත අන්තෝනි ප්‍රතිමාව හරක් මඩුවක සඟවා තැබූ අතර රාත්‍රියේදී එම ස්ථානයේදී රහසිගත යාඥා මෙහෙයන්ද පැවැත්වූහ. එමෙන්ම රාජ පුරුෂයන්ගෙන් ප්‍රතිමාව බේරා ගැනීම සඳහා ප්‍රතිමාව බත් මුට්ටියක සැඟවූ කතාවක් අදටත් මෙහි ජනයාගේ තුඩ තුඩ පැවතෙන්නකි.
 
කතෝලිකයන්ට ලන්දේසීන්ගෙන් සිදුවන තාඩන පීඩන වලින් ඔවුන් මුදා ගැනීම සඳහා ලංකාවේ ශුද්ධවරයට ඔසවා තබන ලද ශාන්තුවරයාණන් වූ ජුසේවාස් පියතුමාණන් ගෝවේ සිට පැමිනෙන්නේ මේ යුගයේදීය.
 
සිය ගෝලයා වන ජෝන් සමඟ 1687 දී මන්නාරමෙන් ලංකාවට ගොඩබට ජුසේවාස් පියතුමා වහකෝට්ටේ ග්‍රාමයට පැමිණ හොර රහසේම ආගමික කටයුතු සිදුකළ බවත් පැවසේ.
 
අද ජුසේවාස් මණ්ඩපය ලෙස හඳුන්වන්නේ එම ආගමික කටයුතු සිදුකළ ස්ථානයයි.
 
ජුසේවාස් පියතුමාණන් විසින් පිහිටුවනු ලැබූ කුරුසිය අදටත් වහකෝට්ටේ පුදබිමේ දක්නට ලැබේ.  



මෙම ආගම් ප්‍රචාරයට විරුද්ධවන රජු ජුසේවාස් පියතුමාව අත්තඩංගුවට ගෙන සිරගත කරණු ලැබූ බව පැව‍සේ.
 
දෙවන විමලධර්මසූරිය රාජ්‍ය සමයේදී මහා නියං සමයක් පැමිණි බවත් ජුසේවාස් පියතුමා යාඥා පවත්වා වර්ෂාව ලබා දුන් බවත් එයට ප්‍රති උපකාර ලෙස රජු විසින් එතුමාගෙන් පැහැරගෙන තිබූ ප්‍රතිමා ඇතුළු සියලු භාණ්ඩ වහකෝට්ටේ දෙව්මැදුර තෙක් පෙරහැරෙන් රැගෙන ආ බවත් ඵෙතිහාසික මුලාශ්‍රවල සඳහන් වේ.

මෙම ප්‍රතිමා ඇතුළු පූජා වස්තු වහකෝට්ටේ දේවස්ථානය වෙත ගෙන ගියේ රාජ ගෞරව සහිතව හේවිසි හොරණෑ හඬ මධ්‍යයේලු.
 
අදත් වහකෝට්ටේ පුදබිමේ හේවිසි නාද පවත්වන්නේ එහි සංකේතයක් ලෙස බවයි පවසනුයේ. ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන වහකෝට්ටේ සිද්ධස්ථානය මුල් කාලයේ පැවත ඇත්තේ පොල් අතු මඩුවක් ලෙස වන අතර ක්‍රි .ව. 1696 දී ජුසේවාස් පියතුමා විසින් මෙය තවදුරටත් ගොඩනගා ඇති අතර මෙම පුදබිම ශ්‍රී ලංකාවේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ට කැපවූ පැරණිතම සිද්ධස්ථානයද වේ.



එමෙන්ම නුවර පදවියේ වැඩිම කතෝලික පිරිසක් වෙසෙන ග්‍රාමය ද වන්නේ වහකෝට්ටේයි. 
  
ක්‍රි .ව.1815 ඉංග්‍රීසින් උඩරටට පැමිණ කතෝලික දහමට අනුග්‍රහය ලැබෙන තුරු වහකෝට්ටේ කතෝලිකයින් තම ආගම ඇදහීමේ නිදහස බහුතර බෞද්ධයන් මධ්‍යයේ නොකඩවා පවත්වාගෙන ගියහ.
 
වහකෝට්ටේ නව දේවස්ථානය ගොඩනගන ලද්දේ 1938 දීය. මෙම දේවස්ථානය ඉතාලි ගෘහනිර්මාණ ශිල්පයට අනුව නිර්මාණය කර ඇති අතර එහි වහල යටලී භාවිතා නොකොට නිර්මාණය කිරීම විශේෂත්වයකි.



 













ගොතික් සම්ප්‍රදායයට අනුව ඉදිකොට ඇති වහකෝට්ටේ දෙව්මැදුරට විශාලත්වයෙන් සම කළ හැකි දෙව්මැදුරු ලංකාවේ නොමැති තරම්ය.
දැනට පවතින වහකෝට්ටේ දෙව්මැදුර,  වසර 400 ඉතිහාසය තුළ ඉදිකරන ලද සතරවන දෙව්මැදුරයි. එමෙන්ම මෙරට ඇති කතෝලික දේවස්ථාන අතුරින් මංගල්‍ය දෙකක් පවත්වන එකම ශාන්ත අන්තෝනි දේවස්ථානය ලෙසත් වහකෝට්ටේ සලකනු ලැබේ. ජුනි හා අගෝස්තු මාසයේ පවත්වන මෙම මංගල්‍යයේදී පංච තූර්ය වාදන මධ්‍යයේ සියලු වතාවත් සිදු කිරීම මෙහි ඇති විශේෂත්වයයි.


 

 














17 වන සියවසේ සිට අද දක්වාම මෙම චාරිත්‍රය නොකඩවා සිදුකරනු ලබන්නකි. එමෙන්ම ලංකාවේ වෙනත් කිසිදු දේවස්ථානයක නොමැති විශේෂ තනතුරක්ද මෙහි පවතී.
 
මුහුප්පු පට්ටම නමින් තනතුරක් ඇති කරවා ඒ සඳහා ගිහි නායකයන් පත්කරන ලද්දේ ජුසේවාස් පියතුමා විසින් වන අතර මුහුප්පු යන්න පෘතුගීසි වදනක් වේ. එම තනතුර අදටත් වහකෝට්ටේ දේවස්ථානය හා බැඳී පවතින තනතුරක් වේ.

බෞද්ධයන් හා මිශ්‍ර වෙමින් ඔවුන් හා ආගමික සංහිදියාවෙන් වෙසෙමින් බෞද්ධයන්ගේද නොමද ගෞරවාදයට පාත්‍ර වෙමින් ඵෙතිහාසික හා පෞරාණික වටිනාකම් මෙන්ම ආගමික සහනශීලිත්වයෙන්ද ලොවට ආදර්ශයක් සපයමින් තුරුවැල් වලින් ගහණ රමණීය පරිසරයක් මැද ශුද්ධවූ අන්තෝනි මුනිඳුන් අදත් ලොවට සෙත සදමින් වැඩසිටී.